
මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනයට කඩිනම් පියවර අවශ්‍යයි -ජනාධිපති ලේකම්
අධික වර්ෂාව සමඟ ඉදිරියේදී මාතර දිස්ත්‍රික්කයේ ඇති විය හැකි ගංවතුර තත්ත්වය අවම කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශවල නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, මෙම ගැටලුව හා සම්බන්ධ සියලුම අමාත්‍යාංශ හා ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීයි.
නිල්වලා ලවණ බාධක ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පැවති සාකච්ඡාවේ ප්‍රගතිය විමසා බැලීම මෙහිදී සිදු කෙරුණා.
එම සාකච්ඡාවේ දී නිල්වලා ලවණ බාධකය හේතුවෙන් මාතර ප්‍රදේශයට බලපාන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා දිගුකාලීන සහ කෙටිකාලීනව ගත හැකි ක්‍රියාමාර්ග රැසක් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා පියවර ගැනීමට සියලුම පාර්ශ්ව එකඟ වී තිබෙනවා.
ඒ අනුව දීර්ඝකාලීන විසඳුම් සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තා කරන ලෙසට පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා අනුබද්ධිත ඉංජිනේරු සැලසුම් මධ්‍යස්ථානය වෙත පවරා ඇති බව නිලධාරීන් විසින් දැනුම්දී ඇති බව සඳහන්.
එහිදී ලවණ බාධකය ඉදිකිරීමෙන් අනතුරුව පැන නැඟී ඇති තත්වය සැලකිල්ලට ගෙන විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බවටද කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
කෙටි කාලීන විසඳුම් ලෙස හදිසි ගංවතුර තත්වයක් ඇති වුව හොත් ජලය වේගයෙන් බැස යා හැකි ලෙස මේ වන විට ගඟෙහි පවතින ගස් ඇදවැටීම් වැනි බාධක ඉවත් කිරීමට සහ ඇළ වේලි සුද්ද පවිත්‍ර කිරීමටත්, මීට පෙර ජල සම්පාදන මණ්ඩලය විසින් වැලි කොට්ට යොදා ඉදිකරන ලද තාවකාලික ලවණ බාධකය ඉවත්කිරීමට කටයුතු කර ඇති බවටත් මෙහිදී තොරතුරු වාර්තා වී ඇති බව සඳහන්.
එමෙන්ම අප්‍රේල් මාසය වන විට නිල්වලා ගං මෝය ගැඹුරු කිරීමටත්, ගංවතුර තත්ත්වයකදී අමතර ජලය තාවකාලිකව රඳවා ගැනීමට හැකිවන පරිදි ඇළ මාර්ග ගැඹුරු කිරීමටත් පියවර ගෙන ඇති බව එහිදී සඳහන් කර ඇති නිලධාරීන් ජලය කඩිනමින් ඉවත් කිරීමට යොදවා ඇති ජල මෝටර්වල ධාරිතාව ඉහළ නැංවීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙහිදී යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
මීට අදාළව ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයක්ම මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ඉදිරිපත් කරන ලෙසද ජනාධිපති ලේකම්වරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර මාතර නිල්වලා ගඟේ ඉදි කර තිබෙන ලවණ බාධකය, ඒ අවට ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යාමට හේතු වී ඇති බවටද, කරදිය කුඹුරු කරා පැමිණීම හේතුවෙන් වගා හානි වන බවටද ප්‍රදේශවාසීන් මෙන්ම ගොවි ජනතාව වෙතින් කරුණු ඉදිරිපත් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.