මානසික සෞඛ්‍ය දිනය – 2025 සැමරුම් වැඩසටහන ප්‍රසව හා නාරිවේද සංගම් ශ්‍රවණාගාරයේ දී…

මානසික සෞඛ්‍ය දිනය – 2025 සැමරුම් වැඩසටහන ප්‍රසව හා නාරිවේද සංගම් ශ්‍රවණාගාරයේ දී…

වර්තමානයේ දේශීය මෙන්ම ගෝලීය වශයෙන් සමාජය තුළ මානසික ගැටලු වලට මුහුණ දීමේ ප්‍ර‍වණතාව ඉහළ ගොස් ඇතැයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි ගැටළුවලට මානසික සහනය ලබා දීම අත්‍යවශ්‍ය වුවත් අවශ්‍ය ප්‍රමාණයට මානසික වෛද්‍ය වෘත්තිකයෙන් අඩුවීමක් රටක් වශයෙන්ම අප මුහුණ දෙනම ප්‍රධාන ගැටලුවක් බවයි.

ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, ශ්‍රී ලංකා විශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ සංසදය, ශ්‍රී ලංකා ආර්ථවහරණ සංසදය, දකුණු කොළඹ ශික්ෂණ රෝහල සහ ලියෝ සමාජය එක්ව සංවිධාන කළ මානසික සෞඛ්‍ය දිනය – 2025 සැමරුම් වැඩසටහන ඊයේ දින (17) ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත් වුණා.

ප්‍රවීණ නිළි සහ යෝග උපදේශක අනෝජා වීරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් එක්ව සිටියා.

සමාජයේ ප්‍රජාව තුළ මානසික යහපැවැත්ම පිළිබඳව ස්වයං තක්සේරුවක් සිදුකළ හැකි “නීරෝගී” ජංගම දුරකථන මෘදුකාංගය එළිදැක්වීමද ක්‍රිශාන්ත අබේසේන අමාත්‍යවරයා අතින් මෙහිදී සිදුකෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන අමාත්‍යවරයා මෙසේ ද පැවසුවා.
” විවිධ මානසික ගැටළුවලදී ජනතාවට අවශ්‍ය වන විසඳුම් ලබා ගැනීම සඳහා තාක්ෂණික සංවර්ධනයේ දායකත්වයන් බෙහෙවින් වැදගත් වෙනවා.
අසීරු කාර්යයක් වුවත් අප රජය ජනතාවට පහසුකම් සහිත ජීවිතයක් ලබාදීමේ අරමුණින් මුළු රටම ඩිජිටල්කරණය කරමින් සිටිනවා. ඒ හරහා බොහෝ ගැටළුවලට විසදුම් ලැබෙනවා. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ලෙස වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණ සහයෝගිතාව වෙනුවෙන් වෛද්‍ය තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් (Medical Technology Hub) නිර්මාණය කරමින් තිබෙනවා.”

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය දසන්ති අක්මීමන මහත්මිය ඇතුළු වෛද්‍යවරුන්, විද්වතුන් රැසක් එක්ව සිටියා.

Share This