
මාලිගාවත්තේ දී වෑන් රථයක ගැටුණ 5 හැවිරිදි දරුවෙක් මරුට
සිය සහෝදර සහෝදරියන් සමග කෙලි දෙළෙන් සෙල්ලම් කරමින් සිටි 5 හැවිරිදි කුඩා දරුවෙකු වෑන් රථයක ගැටී මිය ගොස් ඇතැයි මාලිගාවත්ත පොලිසිය පවසනවා.
අනතුරින් මිය ගොස් ඇත්තේ කොළඹ 10 , මාලිගාවත්ත මහල් නිවාසවල පදිංචිව සිටි තලගලගේ නිවේන් මින්නාස් දරුවායි.
මියගිය දරුවා දරුවන් සිව් දෙනකුන් යුත් පවුලක තෙවන දරුවා වන අතර වැඩිමහල් සහෝදරිය ඇතුළු අනෙකුත් සහෝදරයන් සමඟ නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් අතුරු මාර්ගය දෙසට දිව ඒමේදී මිල්ටන් පෙරේරා මාවත දෙස සිට කලේයි මගල් වීදිය ඔස්සේ ධාවනය වූ වෑන් රථයක ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය පැවසුවා.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම අවස්ථාවේදී දරුවාගේ ශරීරයේ මතුපිටින් සිරිම් තුවාල පමණක් දක්නට ලැබී තිබී ඇති අතර ලේ වමනය කිරීම හේතුවෙන් වෑන් රථයෙන්ම රියදුරු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන තිබූ බවයි.
රෝහල් ගත කළ දරුවා වාට්ටු අංක 20 හි විශේෂ ප්රතිකාර ඒකකයේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටිය දී පෙරේදා (23) මියගොස් තිබෙනවා.
වෑන් රථ රියදුරු වන කොළඹ 15, මට්ටක්කුලිය, කදිරාණ ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක් පමණ වන සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
