මාව බලයෙන් නෙරපන්න විදේශ බලවේගත් එක් වුණා – හිටපු ජනපති කියයි (VIDEO)
ජාත්‍යන්තර බලවේග ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයෙකු ව්‍යවස්ථා විරෝධී ලෙස බලයෙන් නෙරපාහැරීමේ කුමන්ත්‍රණයට විවෘතව සහාය දුන් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනාවරණය කරනවා.
විදේශ බලවේග සහ ඇතැම් දේශීය පාර්ශ්ව මා ජනාධිපති ධුරයෙන් ඉවත්කිරීම සඳහා ප්රචණ්ඩ විරෝධතා සහ කඩාකප්පල්කාරී ක්‍රියා සංවිධානය කළ බවයි ඔහු සඳහන් කරන්නේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් ජනාධිපති ධුරයෙන් නෙරපීමට හේතු පාදක වූ සිද්ධීන් සම්බන්ධයෙන් මුල්වරට හෙළිදරව් කරනු ලැබුවේ ඒ මහතා විසින් රචනා කර ඊයේ පිටකරනු ලැබූ ජාත්‍යන්තර අනුග්‍රහයෙන් “රෙජීම් චේන්ජ්” මෙහෙයුමෙන් ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදය හෑල්ලු වූ හැටි තේමාව කරගත් “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නම් වූ ග්‍රන්ථය තුළින්ය.
මෙම ග්‍රන්ථය ඊයේ (07දා) එළි දක්වා තිබෙනවා.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකිරීමේ කුමන්ත්‍රණය පිළිබඳ කළ හෙළිදරව් කිරීම් අලලා රචිත මෙම කෘතියේ තවදුරටත් මෙසේ ද සඳහන් කර තිබෙනවා.
ඇතැම් බලවත් රටවල් ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍යයේ මුරදේවතාවන් ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටිය ද ඔවුන් කරන්නේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම නොව ඔවුන්ගේ අවශ්‍යතාවන් මුදුන් පමුණවා ගැනීම සඳහා කටයුතු කිරීම බවයි ඔහු සඳහන් කරන්නේ.
සංවර්ධනය වෙමින් පවතින ඕනෑම රටක ප්රජාතන්ත්රවාදයට ඇති විශාලම තර්ජනය වන්නේ ඊනියා අධිකාරිවාදී පාලන ක්‍රම සහිත රටවලින් නොව නිරන්තරයෙන්ම ප්රජාතන්ත්රවාදය ගැන මුළු ලෝකයටම දේශන පවත්වන සංවර්ධිත ප්රජාතන්ත්රවාදී රාජ්‍යයන් සහ ඔවුන්ගෙන් වැටුප් ලබන දේශීය ඒජන්තවරුන්ගෙන් බව ද ගෝඨාභය රාජපක්ෂ මෙම කෘතිය හරහා පෙන්වා දෙනවා.