
මැල්කම් කාදිනල් හිමිපාණන්ගේ 78 වැනි ජන්ම දිනය අද
සමාජයේ යහපැවැත්ම සහ අධ්‍යාත්මය ගොඩනැඟීමට වෙහෙසකර ව්‍යායාමයක නිරත වන කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද දිනයේ සිය ජීවන ගමනේ 78 වැනි විය සපුරනු ලබනවා.
1947 වර්ෂයේ කුරුණෑගල, පොල්ගහවෙල ප්‍රදේශයේදී උපත ලද මැල්කම් රංජිත් නම් වූ දරුවා වර්ෂ 1975 ජූනි 29 වන දින ශුද්ධ වූ සයවන පාවුළු පාප් වහන්සේගේ සුරතින් වතිකානුවේ සාන්ත පීතර බැසිලිකාවේදී පූජක වරම් ලබා ගත්තා.
අනතුරුව, වර්ෂ 1978 සිට මීසම් සහායක පියතුමකු, වැඩබලන මීසම් සේවක පියතුමකු, දේව ධර්මය පිළිබඳ කථිකාචාර්යවරයකු මෙන්ම, දේව ධර්ම නිකේතන මහාචාර්යවරයකු ලෙස කටයුතු කර ඇති උන් වහන්සේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ, ස්පාඤ්ඤ සහ ඉන්දුනිසීයානු බස ආදී භාෂා රැසක ප්‍රවීණතාව ලබා සිටිනවා.
1991 වර්ෂයේදී එවකට අගරදගුරුවරයා වූ අතිඋතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන්ගේ මූලිකත්වයෙන් තේවත්තේ ලංකා අප ස්වාමිදුවගේ බැසිලිකාවේදී කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරුවරයකු ලෙස එතුමාගේ පදවි ප්රාප්තවීම සිදු කෙරුණා.
අනතුරුව, වර්ෂ 2009 ජූනි මස 16 වන දින කොළඹ පදවියේ අගරදගුරුවරයා ලෙස පත් වූ මැල්කම් රංජිත් හිමිපාණෝ, එයින් වසරකට පසු, වර්ෂ 2010 නොවැම්බර් 20 දින ඉතාලියේ සාන්ත ලෝරන්ස් බැසිලිකාවේදී කාදිනල්වරයෙකු ලෙස පත්වීම් ලැබුවා.
ඒ අනුව, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ශ්‍රී ලංකාවේ කාදිනල් තනතුර දැරීමේ ආශීර්වාදය ලත් දෙවන පියතුමා ලෙස ඉතිහාස ගත වනවා.
ලේඛකයකුද වන එතුමා සඟරා සහ පුවත්පත් සඳහාද ලිපි ගණනාවක් සම්පාදනය කර ඇත්තේ සමාජයේ යහපැවැත්ම සහ ආගම් අතර සාමයේ දොරගුළු විවර කිරීම අරමුණු කරගනිමින්.
දැනුම සොයා යෑමේ නිරන්තර පිපාසයෙන් පෙළෙන උන්වහන්සේ පඬිවරයෙක්, ලේඛකයෙක් හා චතුර සහ සාරගර්භ දේශකයෙක්.
වතිකානයේ ඉහළ තනතුරු දැරූ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කළ මැල්කම් රංජිත් හිමිපාණෝ ශුද්ධ බයිබලය සහ ජනවන්දනාව පිළිබඳ පෘථුල දැනුමෙන් සන්නද්ධ වූවෙක් ද වනවා.
2015දී මීගමුවේදී 16 වැනි බෙනඩික්ට් සංස්කෘතික ආයතනය ස්ථාපිත කිරීමේ නියමුවා ලෙස උන්වහන්සේ කටයුතු කළේ අධ්‍යාපනයේ අගය මනාව වටහාගත්, දැනුමෙන් සුපෝෂිත නායකයයකුගේ වගකීම පෙරදැරිවයි.
විශාල මෙහෙයක් ඉටු කරන රාජ්යතාන්ත්රිකයකු, බයිබලය ඉතා හොඳින් විවරණය කරමින් කරුණු ඉදිරිපත් කළ හැකි ධර්ම ගවේෂකයකු, සමාජය අවදි කළ හැකි ශක්තිමත් පෞරුෂයක් හිමි කථිකයකු වන අතරම, එම භූමිකාවලින්ද ඔබ්බට ගිය සැබෑ මානව හිතවාදියකුද වනවා.
ජාත්‍යන්තර සම්මාන රැසකින්ද පිදුම් ලද එතුමාණෝ, ඇමරිකා එක්සත් ජනපදයේ තෝමස් ඇක්වයිනාස් විද්‍යාලයෙන් ආගමික අධ්‍යාපන ක්ෂේත්රයේ තෝමස් ඇක්වයිනාස් පදක්කමද, 2008 වසරේ සංස්කෘතික ක්ෂේත්රයේ ජයග්‍රහණ සඳහා ඉතාලි ජනරජයේ ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද, 7 වන Giuseppe Sciacca ජාත්‍යන්තර සම්මානයන්ගෙන් ද පිදුම් ලබා තිබෙනවා.
