මිද්දෙණිය,තරණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතන සිද්ධියට 4 ක් අල්ලයි

මිද්දෙණිය,තරණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතන සිද්ධියට 4 ක් අල්ලයි

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී තරණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන විදෙස්ගතව සිටින තැඹිලි ළහිරු නැමැත්තාගේ මෙහෙයවීම මත එම ඝාතනය සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මිද්දෙණිය, තෝරකොළයාය, තේක්කවත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී ඉකුත් 24 වැනිදා රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කරන ලද තරුණයින් දෙදෙනෙකුගේ මළසිරුරු සොයාගනු ලැබුවා.

එලෙස ඝාතනයට ලක්ව තිබුණේ ඇඹිලිපිටිය සහ තෝරකොළයාය ප්‍රදේශයන්හි පදිංචි 35 සහ 40 වන වියේ පසු වූ දෙදෙනෙක් වන අතර ඔවුන්ගෙන් එක් අයෙකුට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා.

ඒ අනුව අදාළ ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් මුල්කර ගනිමින් සිදුකර ඇති බවටයි එදින වාර්තා වුණේ.

ඝාතනය සඳහා ගිනි අවි දෙකක් භාවිත කර ඇති බවට අනාවරණ වී ඇති අතර, අදාළ තරුණයින් දෙදෙනා තේක්කවත්ත ප්‍රදේශයට ගෙන්වා ගෙන වෙඩි තැබීම සිදුකර ඇති බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.

වෙඩික්කරුවන් පැමිණි බව කියන යතුරුපැදියක් විමර්ශන නිලධාරීන් විසින් සොයා ගැනීමට කටයුතු කළ අතර මේ වන විට සැකකරුවන් සිව් දෙනෙකුද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

විමර්ශනවල දී අනාවරනය වී ඇත්තේ එම ද්විත්ව ඝාතනය දැනට ඩුබායි හි සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් බව කියන ජූලම්පිටියේ තැඹිලි ළහිරු නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවටයි.

ඝාතනයට ලක් වූ ඇඹිලිපිටිය කුඹුගොඩආර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා තැඹිලි ළහිරු නැමැත්තාගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඇති බවත් ඒ සඳහා මුදල් නොගෙවීම මත දෙදෙනා අතර ගැටුමක් හටගෙන ඇති බවත් සඳහන්.

මියගිය කුඹුගොඩආර ප්‍රදේශයේ පුද්ගලයා ඝාතනයට ලක්වූ තෝරකොළයාය ප්‍රදේශයේ පදිංචි තරුණයා මාර්ගයෙන් තැඹිලි ළහිරුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඇති බවත් එය දැනගත් ළහිරු උපක්‍රමශීලීව ඔවුන් දෙදෙනාම ගෙන්වා ඝාතනය සිදුකර ඇති බවත් වාර්තා වනවා.

ඉකුත් පෙබරවාරි මස 18 වැනිදා මිද්දෙණිය ප්‍රදේශයේ දී කජ්ජා නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම ද තැඹිලි ළහිරු නැමැත්තාගේ මෙහෙයවීම මත සිදුකර තිබුණා.

මෙම වෙඩි තැබීමෙන් කජ්ජා සහ ඔහුගේ දරු දෙදෙනාද ජීවිතක්ෂයට පත්වූ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් කජ්ජා සමඟ ඇති වූ ගැටුමක් මෙම ඝාතනයට හේතුවී තිබුණා.

මීට අමතරව ඉකුත් වසරේ ජූලි මාසයේ 21 වැනිදා මිද්දෙණිය ජූලම්පිටිය ප්‍රදේශයේදී ද සිය බිරිඳ සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදුකර තිබූ අතර එම වෙඩි තැබීම ද තැඹිලි ළහිරු විසින් මෙහෙයවා ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

ආරංචි මාර්ග පවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව අවි ආයුධ වෙළෙඳාම ඇතුළු විවිධ චෝදනා තැඹිලි ළහිරු නැමැත්තාට එල්ල වී ඇති බවයි.

මේ අතර ඊයේ පස්වරුවේ හබරණ – ත්‍රිකුණාමලය මාර්ගයේ හතරැස් කොටුව පොලිස් මුරපොළ අසලදී සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී රියදුරු අසුන ඉදිරිපිට සඟවා තිබූ සී ෆෝ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 156 ක් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගාල්ල ලබුදූව ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයෙක් බවයි අප වාර්තා කරු සඳහන් කළේ.

අධිබලැති පුපුරණ ද්‍රව්‍යක් වන සී ෆෝ වර්ගයේ එම පුපුරණ ද්‍රව්‍ය ලොරි රථයේ සඟවා තැබුවේ කුමන අරමුණකින් ද යන්න පුළුල් විමර්ශන මේ වන විට ක්‍රියාත්මකයි.

Share This