
මිරිදිය ධීවරයින් ගේ කරළ පැස්සවන්න පොළොන්නරුවේදී සාකච්ඡාවක්
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (02) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් පැවැත්වුණා.
එහිදී පොළොන්නරුව දිස්ත්‍රික් මිරිදිය ධීවර ගැටලු විසඳීමට විශේෂ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.
ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මැතිතුමා, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු අදාළ රාජ්‍ය නිලධාරීන් සහභාගී සිටියා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ පහක් වන මින්නේරිය, කවුඩුල්ල, ගිරිතලේ, පරාක්‍රම සමුද්‍රය සහ මාදුරු ඔය ආශ්‍රිතව පවතින ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.
එහිදී, වැඩි අවධානයක් යොමුව ඇත්තේ තහනම් දැල් ආම්පන්න භාවිතය, නීතිවිරෝධී මසුන් ඇල්ලීම් වැළැක්වීමට ඇති අපහසුතා, ආක්‍රමණශීලී ජලජ පැළෑටි වර්ධනය හේතුවෙන් ජලාශවල ධාරිතාව අඩුවීම, මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීමේ ගැටලු සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාදීමේදී පැන නගින ගැටලු පිළිබඳවයි.
ධීවර නිෂ්පාදනය ඉහළ නැංවීම, ධීවර පවුල්වල ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ධීවර නිෂ්පාදන අපනයනය තුළින් රටට විදේශ විනිමය ගෙන ඒම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණක් බව ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ ගැටලු විසඳීම සඳහා ලබන අගෝස්තු 06 වැනි දා පාර්ලිමේන්තුවේදී පරිසර අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ විශේෂ රැස්වීමක් පැවැත්වීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී දැනුම් දුන්නා.