මුතුරාජවෙල සංරක්ෂිත කලාපයට අදාළ ගිණුම්පතිවරයාගේ සිතියම් සහ වාර්තා අධිකරණයට

මුතුරාජවෙල සංරක්ෂිත කලාපයට අදාළ ගිණුම්පතිවරයාගේ සිතියම් සහ වාර්තා අධිකරණයට

මුතුරාජවෙල සංරක්ෂිත තෙත්බිම් කලාපයට අදාළව මායිම් ලකුණු කරමින් රජයේ මිනුම්පතිවරයා විසින් සකස් කර තිබෙන සිතියම් සහ ඊට අදාළ වාර්තා අධිකරණය හමුවේ ගොනු කර තිබෙන බව නීතිපතිවරයා අද(25) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

මුතුරාජවෙල සුරැකීමේ සංගමය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා මෙම දැනුම් දීම සිදුකළ බව සඳහන්.

මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මුතුරාජවෙල සංරක්ෂිත තෙත්බිම් කලාපයට අදාළ රජයේ මිනුම්පතිවරයාගේ වාර්තාව අධිකරණය හමුවේ ගොනු කර තිබෙන අතර ඒවා මෙම නඩුකරයේ පාර්ශ්වකරුවන්ට ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව අදාළ වාර්තාව අධ්‍යයනය කර සිය නිරීක්ෂණ අගෝස්තු මස 15 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් පෙත්සම්කරු ඇතුළු පාර්ශවකරුවන්ට නියෝග කර තිබෙනවා.

මෙම කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා පෙත්සම යළිත් සැප්තැම්බර් මස 24 වන දා කැඳවන ලෙසද නියෝග කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This