මුම්බායි ප්‍රහාරයට වසර 14ක්

මුම්බායි ප්‍රහාරයට වසර 14ක්

2008 වසරේ  සිදුවූ මුම්බායි ප්‍රහාරයට  වසර 14ක් ගත වනවා.

පාකිස්ථානයේ සිට පැමිණි බව කියන ප්‍රහාරකයන් විසින් දින හතරක් පුරා මුම්බායි නගරයේ ස්ථාන 12කදී සිදුකළ වෙඩි තැබීම සහ බෝම්බ පිපිරීම්වලින් ජීවිතක්ෂයට පත්වූ ඉන්දියානුවන් හා විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 175ක් වුණා.

මෙම ප්‍රහාර නිසා තවත් නිරායුධ පුද්ගලයන් 300කට අධික පිරිසක් තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2008 වසරේ නොවැම්බර් 21 වැනිදා පාකිස්ථානයේ කරච්චි නුවරදී පුහුණුව ලැබූ ත්‍රස්තවාදීන් 10දෙනකු යාත්‍රාවකින් ඉන්දියාවට පැමිණුනේ දැවැන්ත විනාශයක් සිදුකිරීමේ ඉලක්කය සහිතවයි.

ඔවුන් සන්නද්ධවී සිටියේ නවීන AK – 47 ඇතුළු නවීන ගිනි අවි, පිස්තෝල මෙන්ම , අත් බෝම්බ ඇතුළු තවත් ආයුධ රැසකින්.

පැය 38 ක දිගු ගමනකින් පසුව ඔවුන් ඉන්දීය මුහුදු සීමාවට රහසින් ඇතුළුවී තිබුණා.

කුබෙර් ප්‍රදේශයෙන් ඉන්දියාවට ළඟාවූ මෙම ත්‍රස්තයන් පිරිස සිය ඉලක්කයට ආරම්භය ලබාගත්තේ, ඉන්දීය මුහුදු සීමාව තුලදීම ඉන්දීය ටෝලර් යාත්‍රාවක් පැහැරගෙන ධීවරයින් 04 දෙනෙකු අමු අමුවේ මරා දමමිනුයි.

එහිදී ත්‍රස්තයන් ට්‍රෝලර් යාත්‍රාව හසුරවන්නා මරා නොදමන්නේ, ඔහු ලවා මුම්බායි වෙරළ තීරය වෙත තම කණ්ඩායම රැගෙන යෑමේ අරමුණිනුයි.

එහෙත් වෙරළට පැමිණි පසු යාත්‍රාව හසුරවන්නාට අත්වන්නේද පෙර ධිවර පිරිසට අත්වූ ඉරණමමය.

ඔහුවද වෙඩි තබා ඝාතනය කර තිබුණා.

එතෙක් එක්ව පැමිණි මෙම ත්‍රස්තවාදීන් පිරිස වෙරළේ සිට කුඩා කණ්ඩායම් ලෙස බෙදී ගිය අතර ඒ අතරින් අජ්මාල් කසාබ් සහ ඉස්මයිල් යන දෙදෙනා රාත්‍රී 09ට පමණ මුම්බායි නුවර සිවාජි දුම්රියපොළ වෙත පැමිණ සිය ඉලක්කය ලබා ගනු ලැබුවා.

දෛනික රාජකාරී අවසන් කර නිවෙස් වෙත යාමට සුදානමින් දුම්රිය පොලේ රැඳීසිටි පොදිගැසුණු ජනයා ඉලක්ක කර ඔවුන් එල්ලකළ වෙඩි සහ අත් බෝම්බ ප්‍රහාරවලින් එම ස්ථානයේදීම 58 දෙනෙකු මරණයට පත්වී තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

එම කුරිරු ප්‍රහාරයෙන් අනතුරුව ත්‍රස්තයන් දෙදෙනාගේ ඊළඟ ඉලක්කය බවට පත්ව තිබුනේ ආසන්නයේ වූ රෝහලකි. එහි සිටි රෝගීන්, වෛද්‍යවරුන් ඇතුලු විශාල පිරිසකටද ප්‍රහාර එල්ල කෙරුණු අතර කිහිපදෙනෙකු එතැනදීද ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මේ අතර කණ්ඩායමේ තවත් ත්‍රස්තවාදීහු දෙදෙනෙක් දකුණුදිග මුම්බායි හි පිහිටි ලියෝ පෝල්ඩ් කැෆේ අවන්හල වෙත කඩා වැදී එහි සිටි පිරිසට වෙඩි තැබු අතර ඒ වන විටත් අවන්හලේ සැලකිවයුතු පිරිසක් සිය රාත්‍රී ආහාරය ලබාගනිමින් සිටියා.

රාත්‍රි 9:30 ට පමණ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් විදේශිකයන් ඇතුළු දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා.

ඒ අතරතුර මුම්බායි නුවර තවත් ස්ථාන දෙකක මෝටර් රථ තුල සවි කර තිබූ කාල බෝම්බද පුපුරා යෑම හේතුවෙන් සමස්ත නගරයම බියෙන් සලිතවී ගොස් තිබුණා.

මෙම ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රධානම ඉලක්කය බවට පත්ව තිබුණේ මුම්බායි නුවර සංකේතයක් බඳු සුඛෝපභෝගී ටජ්මහල් හෝටලයයි. සිව්දෙනෙක් හෝටලයට ඇතුළුවී තිබුණේ ආගන්තුකයන් ලෙසින් වෙස්වලා ගනිමිණි.

ත්‍රස්තයන් විසින් හෝටලයේ සිටි දෙස් විදෙස් සංචාරකයන් ප්‍රාණ ඇපයට තබාගනිමින් සිය මෙහෙයුම ආරම්භ කළ අතර, ඔවුන්ගේ අරමුණ බවට පත්ව තිබුනේ හැකි තරම් වෙලාවක් හෝටලය අත්පත් කරගෙන සිටිමින් භීතියට පත්කිරීමයි.

කෙසේහෝ අවසානයේ, නොවැම්බර් 26 වෙනිදා රාත්‍රියේදී හෝටලය තුල රැඳීසිටි ත්‍රස්තවාදීන් මරා දමා ඉන්දීය ආරක්ෂක අංශ විසින් පරිශ්‍රය අත්පත් කරගනු ලැබුවා.

හෝටල් පරිශ්‍රය තුළ රැඳී සිටි අතරවාරයේ දී ත්‍රස්තවාදීන් හෝටලය තුළ පිපිරීම් හයක් සිදුකර තිබුණු අතර, ඔවුන්ගේ ප්‍රාණ ඇපයේ සිටි සංචාරකයන් සංඛ්‍යාව 250කට වැඩි වුණා.

මෙම සංචාරකයන් පිරිසෙන් කොටසක් ආරක්ෂක අංශ විසින් විටින් විට මෙහෙයුම් සිදුකරමින් මුදාගනිමටද පියවර ගෙන තිබිණි. එහෙත් ටජ්මහල් හෝටලය තුල සිදුවූ ප්‍රහාර හමුවේ විදේශිකයන් ඇතුළුව පුද්ගලයන් 31 දෙනෙකුට ජීවිත අහිමිව ගියා.

මීට අමතරව ත්‍රස්තවාදීහු මුම්බායි නුවර තවත් ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කළ අතර ඒ අතරින් එක ඉලක්කයක් වූයේ ද ප්‍රධාන හෝටලයකි.

එම හෝටලයේ රැඳී සිටි සංචාරකයන් 38දෙනෙකුට ත්‍රස්ත ප්‍රහාරවලින් දිවි අහිමි වූ අතර එහිදී ආරක්ෂක අංශ විසින් මුදා ගැනුණු සංඛ්‍යාව 143ක් වුණා.

එසේම මුම්බායි නුවර පිහිටි යුදෙව් ජාතික මධ්‍යස්ථානයකට ද කණ්ඩායමේ ත්‍රස්තවාදීහු දෙදෙනෙක් ඇතුළුවී ප්‍රහාර එල්ල කළ අතර එහිදී පුද්ගලයන් 07දෙනකු ජීවිතක්ෂයට පත්වුණා.

යුදෙව් මධ්‍යස්ථානය තුළ රැඳී සිටි ත්‍රස්තවාදීන් මරා දැමීමට, ඉන්දියානු කොමාන්ඩෝ බලකාය විසින් හෙලිකොප්ටර් ආධාරයෙන් විශේෂ මෙහෙයුමකද දියත් කළා.

මුම්බායි නගරය ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමේ මෙහෙයුම ආරක්ෂක අංශ විසින් පුරා දින 04ක් තිස්සේ සිදුකෙරුණු අතර, කණ්ඩායමේ සිටි ත්‍රස්තයන් 10 දෙනාගෙන් 09 දෙනකුම එම දින 04 ඇතුලත මරා දැමුවා.

කෙසේවෙතත් අජ්මාල් කසාබ් නම් ත්‍රස්තවාදියා පලායමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ අතර පසුව මෙම ප්‍රහාරයේ සැලසුම පිළිබඳව අනාවරණය කරගනු ලැබුවේ මේ අජ්මාල් කසාබ් හරහායි.

ඔහු අනාවරණය කරන ලද තොරතුරුවලට අනුව මුම්බායි ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ පාකිස්ථානය පදනම් කරගත් ‘ලක්ෂාර්-ඊ-තයිබා’ නම් ත්‍රස්ත සංවිධානය විසිනුයි.

ලොව බොහෝ පාර්ශ්ව විවිධ අන්තර්ජාතික සම්මන්ත්‍රණ සහ සාකච්ඡා ඇතුළු ප්‍රසිද්ධ වේදිකාවලදී ත්‍රස්ත හිතවාදී ප්‍රතිපත්තියෙන් බැහැර නොවන දැඩි පියවර ගන්නා ලෙස ලෝක බලවතුන්ට බලකර ඇත්තේ මෙම අනතුර සමස්ත ලෝකයටම හිසරදයක්ව පවතින නිසායි.

හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝ හට එල්ලවූ ආකාරයෙන්ම ඉම්රාන් ඛාන් හටද මෑතකදී ත්‍රස්ත ප්‍රහාරයකට මුහුණදීමට සිදුවන්නේ එලෙස ත්‍රස්ත සංවිධානවල ප්‍රතිඵලයක් වශයෙන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මුම්බායි ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ සිදුකළ දීර්ඝ විමර්ශනයේදී, 37දෙනකු මිට සෘජුවම සම්බන්ධ බව හඳුනාගෙන තිබූ අතර ඒ අතර පාකිස්ථාන ආරක්ෂක අංශවලට සම්බන්ධ නිලධාරීන් දෙදෙනකු වන බවද හෙළිවී තිබුණා.

ප්‍රහාරයේදී අත්අඩංගුවට ගැනුණු අජ්මාල් කසාබ් සම්බන්ධයෙන් වසර 04ක් තිස්සේ දීර්ඝ නඩු විභාගයක් පැවති අතර අවසානයේ ඉන්දීය අධිකරණය විසින් ඔහුට එරෙහිව ත්‍රස්ත චෝදනා සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම කළ අතර එම තීන්දුවට අනුව 2012 නොවැම්බර් 21 වැනිදා පූනේ හිදී අජ්මාල් කසාබ් එල්ලා මරා දැමුණා.

අදින් වසර 14කට පෙර සිදුකළ මෙම ත්‍රස්ත ප්‍රහාරය අදටද ඉතිහාසගතවී ඇත්තේ ඇමෙරිකාවේ ’09/11 ප්‍රහාරයට’ නොදෙවෙනි ප්‍රහාරය ලෙසයි.

Share This