මෙරට සෞඛ්‍ය සේවාවේ සංවර්ධනයට UNOPS සහාය

මෙරට සෞඛ්‍ය සේවාවේ සංවර්ධනයට UNOPS සහාය

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය සහය අඛණ්ඩව, ඉදිරියටත් ලබාදෙන බව එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ චාල්ස් කැලනන් මහතා පවසනවා

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ පැවති හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා

මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙන් ම ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව විශ්ලේෂණය කරමින් අවශ්‍යතාවය පරිදි එම ව්‍යාපෘති කඩිනම් කිරීම, ඉදිරි සැලසුම් සකස් කිරීම වැනි කරුණු මූලික කර ගනිමින් මෙහි දී දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එමෙන්ම මෙරට සමස්ත ජනතාවගේ සෞඛ්‍ය සේවා වගකීම දරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය වන්නාවූ සහය නිබඳව ම ඉදිරියටත් ලබා දෙන බව ද චාල්ස් කැලනන් මහතා මෙහි දී කියා සිටියා

එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලය සහ ග්ලෝබල් ෆන්ඩ් ආයතනය ඒකාබද්ධව මෙරට රජයේ රෝහල් 30 ක ක්‍රියාත්මක ඩිජිටල්කරණ ව්‍යාපෘතිය පිළිබඳව අධ්‍යක්ෂ චාල්ස් කැලනන් මහතා සහ අමාත්‍යවරයා මෙහි දී දීර්ඝ ව සාකච්ඡා කළ අතර මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් වීමෙන් පසු ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගී ජනතාවට අඩු කාලයක් තුළ දී ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව මෙහි දී අමාත්‍යවරයා පැවසුවා

තම අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීම මෙරට ජනතාවට ගුණාත්මක,තත්ත්වයෙන් උසස් ඖෂධ අඛණ්ඩව මෙරට රෝහල් පද්ධතිය වෙත ලබා දීම බවත්, එම කාර්ය සිදු කිරීමේ දී නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවන බව මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා මෙරටට අවශ්‍ය ඖෂධ රට තුළ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ රාජ්‍ය හා පෞද්ගලික අංශ හරහා නුදුරේ ම ක්‍රියාත්මක කරන බව ද කියා සිටියා

Share This