මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රවල ප්‍රගමනයට අමෙරිකානු සහාය

මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රවල ප්‍රගමනයට අමෙරිකානු සහාය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදුවී තිබෙනවා.

මෙම හමුවේදී මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවේ මෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය මෙන්ම මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි ඉදිරි සංවර්ධනය උදෙසා අමෙරිකානු රජය දක්වන සහයෝගය සහ ප්‍රදානයන් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්.

එමෙන්ම මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක, විශිෂ්ඨ සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබාදීමට වත්මන් රජය ගෙන යනු ලබන විශේෂ වැඩපිළිවෙළ මෙන්ම මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට නව රජය ගෙන යන විශේෂ වැඩපිළිවෙළ පිළිබඳව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අමෙරිකානු තානාපතිනිය හමුවේ දැනුවත් කර තිබෙනවා.

තවද මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රමුඛ ආයුර්වේදය හා බද්ධ කරමින් සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම ඉලක්ක කර ක්‍රියාත්මක කිරීමට යෝජිත සෞඛ්‍ය සංචාරක ව්‍යාපාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද එවැනි විශේෂ සැලසුම් සහගත ව්‍යාපෘති රාශියක් වත්මන් රජය ගෙනයනු ලබන නව වැඩපිළිවෙළ තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

මෙරට තුළ යම් යම් අවස්ථාවන් හිදී ඇතිවන ඖෂධ හිඟය මඟ හැරවීම සඳහා ඉදිරි දෙවසර තුළ දී මෙරට රජයේ රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධ මෙරට රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යවරයා තානාපතිනිය දැනුවත් කළා

එමෙන්ම මාධ්‍යවේදීන් සඳහා වරලත් මාධ්‍ය ආයතනයක් නුදුරේම ආරම්භ කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් තිබීම පිළිබඳව ද අමාත්‍යවරයා තානාපතිනිය හමුවේ ප්‍රකාශ කළ බව සඳහන්.

අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අදහස්වලට සවන්දුන් අමෙරිකානු තානාපතිනිය ශ්‍රී ලංකාවේ ක්ක්රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව විශේෂ ඇගයීමකට ලක්කොට තිබෙනවා.

එම සේවාව අඩු පිරිවැයකින් ලබාදෙන උසස්ම සේවාවක් බවද තානාපතිනිය විසින් පෙන්වාදුන් අතර ශ්‍රී ලංකාවේ වත්මන් සෞඛ්‍ය අභියෝග ජය ගැනීම සඳහා ලබාදිය හැකි සහාය පිළිබඳවත් අමාත්‍යවරයාගෙන් කරුණු විමසමින් අමෙරිකානු තානාපතිනිය දැනුවත් වූ බව සඳහන්.

මින් පෙර අවස්ථාවන්වලදී මෙරට සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහය මෙන්ම විවිධ ප්‍රදානයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කර තිබෙනවා බව සිහිපත් කළ චන් මහත්මිය ජනමාධ්‍ය ක්ෂේත්‍රය සඳහා ද අවශ්‍ය ඉදිරි සහාය අඛණ්ඩව ලබාදෙන බව සඳහන් කර සිටියා.

තවද මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි ඉදිරි දියුණුව ඇති කිරීමට අමෙරිකානු රජයේ මූල්‍ය තාක්ෂණික, දැනුම සහ භෞතික වශයෙන් ලබාදිය හැකි සියලු සහයෝගයන් මෙන්ම උපකාරයන් අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව ද අමෙරිකානු තානාපති ජූලි චංග් මෙහිදී අවධාරණය කර සිටියා.

මෙහිදී ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ප්‍රමුඛ වත්මන් රජය ගෙනයනු ලබන නවමු වැඩපිළිවෙළ ද තනාපතිවරියගේ විශේෂ ඇගයීමට ලක්වූ බව සඳහන්.

Share This