මෙහෙනියකගේ බණ නවත්වන්න “තග” දැමූ “මමයි ඔගස්ටින්”  ඇතුළු දෙන්නෙක් අත්අඩංගුවට (VIDEO)

මෙහෙනියකගේ බණ නවත්වන්න “තග” දැමූ “මමයි ඔගස්ටින්” ඇතුළු දෙන්නෙක් අත්අඩංගුවට (VIDEO)

කෙරවලපිටිය ප්‍රදේශයේ රත්නාවලී ආරාමය අසලදී මෙහෙණින් වහන්සේ නමකට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රසිද්ධ ස්ථානයක කළහකාරි ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා අද (03) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි රත්නාවලී ආරාමයේ කඨින පුණ්‍යෝත්සවයට සමගාමීව ඊයේ (02) රාත්‍රියේදි ධර්ම දේශනාවක් පවත්වා තිබුණා.

ඒ අතරතුර ආරාමය අසලට පැමිණි පුද්ගලයින් පිරිසක් ඊට විරෝධය පළ කර තිබුණේ ශබ්ද විකාශය යන්ත්‍රවලින් පිටවන හඬ අධික බව පවසමින්.

එහිදී ධර්ම දේශනාව සිදු කරමින් සිටි මෙහෙණින් වහන්සේ නමක් ආරාමය ඉදිරිපිටට පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

අදාල පුද්ගලයින් සිය නම කියමින් පුළුවන් දෙයක් කරන ලෙස මෙහෙනින්වහන්සේට බැණ තර්ජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් සමග පොලීසිය ක්‍රියාත්මක වී අදාල පුද්ගලයින් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව ප්‍රසිද්ධ ස්ථානයක කලහකාරි ලෙස හැසිරීමේ චෝදනාව මත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේ වත්තල පොලිසිය මගින්.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි හා 67 හැවිරිදි වියේ පසුවන වත්තල ප්‍රදේශයේ පදිංවි දෙදෙනෙක්.

Share This