
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරයක් තමන්ව අත් අඩංගුවට නොගන්නැයි ඉල්ලා අධිකරණයට යයි
ප්‍රශ්නගත මෝටර් රථයක්, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුලත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වාලන නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරයක් වන සූරියා ප්‍රියංගනී සිරිමාන්න මහත්මිය අධිකරණයෙන් අද (3) කළ ඉල්ලීමක් සලකා බැලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය මෙම මස 8 දක්වා කල්තැබුවා.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ එදිනට ඇයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි.
ප්‍රශ්නගත මෝටර් රථයක්, පළමු අයිතිකරුගෙන් දෙවන අයිතිකරුට හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ජූලි මස 2 දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු තමන්ට දුරකථන ඇමතුමක් දුන් බව පෙත්සම්කාරිය නීතිඥ භාග්‍යා පීරිස් මහත්මිය මගින් අධිකරණයට දැනුම් දුන්නා.
ඇය අධිකරණයට දැනුම් දුන්නේ එම ප්‍රශ්නගත මෝටර් රථය සම්බන්ධයෙන් මේ වන විට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවය කළ කොමසාරිස්වරයෙකු හා තවත් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත ඇති බවයි.
එම මෝටර් රථය පළමු අයිතිකරුගෙන් දෙවැනි අයිතිකරුට හුවමාරු කිරීමේ සිද්ධිය 2019 අගෝස්තු මස 25 දින සිදුවූ බවත්, එවකට තමන් එම දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පැවරුම් අංශයේ සහකාර කොමසාරිස්වරිය වශයෙන් ඊට අත්සන් තැබූ බවද ඇය සිය පෙස්සම මගින් පෙන්වා දී තිබෙනවා.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ චක්‍ර ලේඛනය අනුව හා නිසි ක්‍රියා පටිපාටියට අනුව තමන් එම මෝටර් රථයේ තොරතුරු දත්ත පද්ධතියට ඇතුල් කළ බවද ඇයගේ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්.
එසේ තිබියදී එම මෝටර් රථය සම්බන්ධයෙන් තමන් විසින් කර ඇති රාජකාරීමය කටයුත්ත පදනම් කරගෙන දූෂණ විරෝධී පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවද ඇයධිකරණයට කරුණු දක්වා තිබෙනවා.
ඇය පෙන්වා දී ඇත්තේ මෝටර් රථයක නීතිමය අයිතිය හුවමාරු කරන විට අදාළ මෝටර් රථයට නව ලියාපදිංචි සහතිකයක් නිකුත් කිරීමට පෙර පැවරුම් ලාභියාගේ තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කළ යුතු බවයි.
දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීමේදී එම දත්ත ඇතුළත් කරන නිලධාරින්ට පැවරුම් ලාභියාගේ නම හා ලිපිනය හැර එයින් ඔබ්බට ගොස් මුල් අයිතිකරුගේ විස්තර දත්ත පද්ධතියෙන් වෙනස් කිරීමට හැකියාවක් නොමැති බව ද ඇය පෙන්වාදී තිබෙනවා.
තමන් මේ වන විට ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක් වශයෙන් කටයුතු කරන බවත් කිසිදු වරදක් සිදු කර නොමැති පසුබිමක තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම තමන්ගේ කීර්ති නාමයට විශාල හානියක් වන බැවින් තමන්ට අපේක්ෂිත ඇපයක් ලබා දෙන ලෙසද ඇය ඉල්ලා තිබෙනවා.
ඇය සිය පෙත්සම මඟින් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි තමන් මීට වසර තුනකට පමණ පෙර ඉන් ඉවත් වූ බවත් මෙම ප්‍රශ්නගත මෝටර් රථය සම්බන්ධයෙන් කිසිවෙකුට බලපෑම් කිරීමට තමන්ට හැකියාවක් නොමැති බැවින් තමන්ට අපේක්ෂිත ඇපයක් ලබා දෙන ලෙසයි.
පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භාග්‍යා පීරිස් මහත්මිය අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සඳහා පෙත්සම්කාරියට මෙම මස 8දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළා.