මෝදිට ජය – නමුත් මෝදිගේ පක්ෂයට අන්ත පරාජයක්

මෝදිට ජය – නමුත් මෝදිගේ පක්ෂයට අන්ත පරාජයක්

අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් සභාග ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන 272 සීමාව ලබාගැනීමට අගමැතිවරයා ප්‍රමුඛ සන්ධානයට හැකිවී තිබෙනවා.

එහෙත් මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට එහි සම්පූර්ණ පාර්ලිමේන්තු බහුතරය අහිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙවර අගමැතිවරයා ලෙස තේරී පත්වීම ඔහුගේ තුන්වන ජයග්‍රහණය වන අතර මෙම ධුර කාලය තුළ රට තුළ මුලින්ම දූෂණය තුරන් කිරීම සඳහා වන සියල්ල සිදු කරන බවයි ජයග්‍රහණය ලැබීමෙන් පසු සිදුකළ කතාවේදී මෝදි කියා සිටියේ.

මෙම මැතිවරණයේදී විපක්ෂය බලාපොරොත්තු වූවාට වඩා ඉතා හොඳින් ක්‍රියා කර ඇති අතර මෙතෙක් ගණනය කර ඇති ඡන්දවලට අනුව මේ වන විට රට පුරා ආසන 193 ක් ලබාගෙන තිබෙනවා.

මේ වන විට ආසන 73ක් දිනාගෙන ඇති ජාතික කොංග්‍රස් පක්ෂයට දෙවැනි විශාලතම බහුතරය හිමිව ඇති බව සඳහන්.

මෝදිගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන කොංග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධි කියා සිටියේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට මෝදිගේ ඇති සැලසුම් ප්‍රතික්ෂේප කිරීම මෙම ප්‍රතිඵලයෙන් ඇඟවෙන බවයි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ මහ මැතිවරණයෙන් ජයග්‍රහණය ප්‍රකාශ කර ඇතත් පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනාගැනීමේ ඔහුගේ ඉලක්කය සුන් වී තිබෙනවා.

ඒ අනුව මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දිගුකාලීනව ඔවුන් සමග සන්ධානගත වූ අය මත යැපීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජූනි 01 වැනිදා අවසන් වූ ලොව විශාලතම මැතිවරණය ලෙස සැළකෙන ඉන්දියානු මහ මැතිවරණය සති හයක කාලය තුළ පැවැත්වුණා.

ඒ අනුව ප්‍රකාශිත ඡන්ද මිලියන 642 අද ගණනය කිරීම ආරම්භ කළ බව සඳහන්.

එමෙන්ම මෙම මැතිවරණයේ ආසන දෙකක් බලාපොරොත්තු නොවුණු ප්‍රතිඵල ලබා දී තිබෙනවා.

ඉන් එකක් වන්නේ භාරතීය ජනතා පක්ෂය ප්‍රථම වරට කේරළයේ ආසනයක් දිනා ගැනීමයි.

ඒ අනුව භාරතීය ජනතා පක්ෂ අපේක්ෂක සුරේෂ් ගෝපි ඡන්ද 412,338 ක් ලබා ගනිමින් ත්‍රිසූර් ආසනය ජයග්‍රහණය කළා .

නමුත් ජනවාරි මාසයේදී අගමැති මෝදි විසින් විසින් විවෘත කළ රාම් මන්දිර් කෝවිල අයත් ෆයිසාබාද් ආසනය විපක්ෂයේ සමාජවාදී පක්ෂයේ අවදේශ් ප්‍රසාද් ජයග්‍රහණය කළා.

එය භාරතීය ජනතා පක්ෂයට ඉතා විශාල පාඩුවක් බව විශ්ලේෂකයින් පෙන්වා දී තිබෙනවා.

කෙසේවෙතත් ඡන්ද ගණනය කිරීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This