යල් පැනගිය බදු ක්‍රමයට කොළඹ මහ නගර සභාවෙන් තිත

යල් පැනගිය බදු ක්‍රමයට කොළඹ මහ නගර සභාවෙන් තිත

යල් පැනගිය ක්‍රමවේදවලින් ඉවත්වී, කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ අරමුණින්, පූර්ණ ස්වයංක්‍රීය ආදයම් උත්පාදන පද්ධතියක් නිර්මාණය කිරීමට, කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනය (KOICA) මෙරට රජය සමඟ එකඟතාවයකට එළැඹ තිබෙනවා.

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 8.5 ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වූ එකඟතාවය පිළිබඳ සම්මුතියට අද (03) අත්සන් තබා තිබෙනවා.

ඒ කොළඹ මහ නගර සභාවේ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් , රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර , කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනයේ ජාතික අධ්‍යක්ෂ ලී යූ ලී යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්.

අමාත්‍යාංශීය නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකදී, පූර්ණ ස්වයංක්‍රීය අදායම් උත්පාදන පද්ධතියක අවශ්‍යතාව සහ වටිනාකම පිළිබඳ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා විසින් දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් පරිදි මෙම KOICA ව්‍යාපෘතිය පිළිබඳ ගිවිසුමට එළඹ තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ ආදායම් ප්‍රභව 76 අතරින් ඉහළම ආදයමක් උත්පාදනය කරන්නේ වරිපනම් බදු(Property Tax), බලපත්‍ර ගාස්තු(License Tax), වෙළඳ බදු(Trade Tax) සහ මුද්දර ගාස්තු(Stamp Duty) යන ආදායම් ප්‍රභව හතරයි.

එමඟින් ලැබෙන ආදායම, කොළඹ මහ නගර සභාවේ සමස්ත ආදායමෙන් 62% ක්.

මෙම නව ව්‍යාපෘතියෙහි පළමු අදියර යටතේ එම ආදයම් උත්පාදක ප්‍රභවයන් හතර ස්වයංක්‍රීකරණය කෙරෙනු ඇති.

බදු ගෙවීම් යාවත්කාලීන වීම පමණක් නොව බදු ගෙවීම් පිළිබඳ තොරතුරු පද්ධතියේ ආරක්ෂිතභාවය තහවුරු වීමද මෙම ව්‍යාපෘතියෙන් අත්වන සුවිශේෂ ප්‍රතිලාභයක්.

දැනට මහ නගර සභාව තුළ ආදයම් කළමණාකරණය සඳහා භාවිත කරන්නේ MCAS (Municipal Council Accounting System) සම්ප්‍රදායික ක්‍රමයයි.

බදු පරිපාලන ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණය කර නොමැති නිසා, එම ක්‍රමය තුළ බදු ගෙවන්නන්ට අවාසිදායක සහ අපහසු තත්වයන් පැනනැගී ඇති බව නිරීක්ෂණ මඟින් හඳුනාගෙන ඇතැයි කොළඹ මහ නගර සභාව පෙන්වා දෙනවා.

මහ නගර සභා පරිපාලනයපෙන්වා දෙන්නේ මහ නගර සභාවේ වාර්ෂික තක්සේරුකරණය සහ බදු අනුපාත සෑම වසර පහකට වරක් යාවත්කාලීන විය යුතු වුවද, මෙම තත්ත්වය තුළ ඉදිරිපත්වන මහජන පැමිණිලි සඳහා සාධාරණ මැදිහත්වීමක් සිදුකිරීමට ද අපහසු වී ඇති බවයි.

නමුත් මෙම නව ව්‍යාපෘතිය අවසානයේ සමස්ත ආදායාම් පද්ධතියම ස්වයංක්‍රීයකරණය මඟින් එම ගැටළු මගහරවා ගැනීමට අවස්ථාව හිමි වන බව මහ නගර සභා පරිපාලනය පවසනවා.

දෛනිකව ස්වකීය අවශ්‍යතා සඳහා කොළඹ නගරයට පැමිණෙන ලක්ෂ 06කට ආසන්න ජනතාවට මෙන්ම , මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි ලක්ෂ 07කට ආසන්න ජනතාවට සේවා සපයන කොළඹ මහ නගර සභාව, වාර්ෂිකව උත්පාදනය කරගනු ලබන ආදායම රුපියල් බිලියන 15 ඉක්මවනවා.

 

Share This