යළි පාර්ලිමේන්තුවට යන රාහුල් ගාන්ධි

යළි පාර්ලිමේන්තුවට යන රාහුල් ගාන්ධි

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි වරදකරු කරමින් ලබාදී තිබූ නඩු තීන්දුවක් අත්හිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔහුට නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව හිමිවන අතර ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණය සඳහාද ඉදිරිපත් වීමට හැකියාව පවතින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

පාලක භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ගුජරාට්හි අධිකරණයක් විසින් අගමැති නරේන්ද්‍ර මෝදිට සහ මෝදි නාමය සහිත වෙනත් පුද්ගලයින්ට අපහාස කළ බවට චෝදනා කරමින් රාහුල් ගාන්ධිට එරෙහිව අදාළ නඩුව පවරා තිබුණා.

ඒ අනුව 53 හැවිරිදි රාහුල් ගාන්ධිට එරෙහිව වසර දෙකක සිරදඬුවමක් ලබාදුන්නද ඔහුට ඇප හිමි වුණා.

කෙසේවෙතත් අදාළ නඩු තීන්දුවෙන් අනතුරුව රාහුල් ගාන්ධිට පාර්ලිමේන්තු අසුන අහිමි වූ නමුත් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයත් සමග ඔහුට මන්ත්‍රී ධුරය නැවතත් හිමිවනවා.

අදාළ චෝදනා සම්බන්ධයෙන් රාහුල් ගාන්ධි විසින් එරට අධිකරණ කිහිපයක් හමුවේ අභියාචනා ගොනු කළ නමුත් ඒ සියල්ලක්ම ප්‍රතික්ෂේප වී තිබුණා.

අනතුරුවයි රාහුල් ගාන්ධි විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය අභියාචනය ගොනු කිරීමට තීරණය කර තිබුණේ.

Share This