යාපන‍යේ අධි ආරක්ෂක කලාපය තුලඇති පෞද්ගලික ඉඩම් මුදාහැරීම ගැන විශේෂ සාකච්ඡාවක්

යාපන‍යේ අධි ආරක්ෂක කලාපය තුලඇති පෞද්ගලික ඉඩම් මුදාහැරීම ගැන විශේෂ සාකච්ඡාවක්

යාපනය-පලාලි අධි ආරක්‍ෂිත කලාපය තුල පිහිටි පෞද්ගලික ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන් වෙත නැවත ලබාදීම සම්බන්ධ ක්‍රියාවලියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට අදාලව පවතින අභියෝගයන්ට විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් ඊයේ කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල්(විශ්‍රාමික) අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා ඇතුළු ජ්‍යාෂ්ඨ ආරක්ෂක සහ පරිපාලන නිලධාරීන් ද රැසක් එකව සිටියා.

එහිදී ඉඩම් නැවත භාරදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවී තිබෙන මෙහෙයුම් සහ පරිපාලන බාධා විසඳීම කෙරෙහි මූලික අවධානය යොමුකර තිබෙනවා.

යුද හමුදා මාධ්‍ය කේන්ද්‍රය පැවසුවේ විශේෂයෙන්ම තවමත් හමුදා භාරයේ පවතින පෞද්ගලික ඉඩම් අදාල හිමිකරුවන් වෙත භාරදීම කඩිනම් කිරීම සඳහා එම හමුදා ඒකක අදියර වශයෙන් ඉවත් කරගැනීම පිළිබඳ කරුණු සමාලෝචනය කළ බවයි.

ඒ අනුව සිවිල් දේපළවලට වන බලපෑම අවම වන අයුරින් හා අත්‍යවශ්‍ය ආරක්ෂක ඒකක තවදුරටත් පවත්වා ගනිමින් ප්‍රදේශයේ අඛණ්ඩ ආරක්ෂාව සහතික කර ගැනීම අරමුණු කරගත් නව සීමා මායිම් ස්ථාපිත කිරීම අවසන් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකර තිබෙනවා.

ජාතික ප්‍රතිසන්ධානය සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස ඉඩම් සම්බන්ධ ගැටලු විසඳීමට රජය දක්වන ස්ථිර කැපවීම් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා යන දෙදෙනාම තහවුරු කළ බවද යුද හමුදා මාධ්‍ය කේන්ද්‍රය සඳහන් කළා.

Share This