යුද්ධයේදී අපි රුසියාව පැත්තේ නැහැ – චීනය කියයි

යුද්ධයේදී අපි රුසියාව පැත්තේ නැහැ – චීනය කියයි

යුක්‍රේන – රුසියා යුද්ධයේදී චීනය කිසි විටෙකත් රුසියාවට සහය දැක්වීමක් සිදු කර නොමැති බව යුරෝපා සංගමයේ චීන තානාපති Fu Cong ප්‍රකාශ කර තිබෙනවා.

රුසියාව සහ චීනය අතර වන මිත්‍රත්වයට “සීමාවක් නොමැත” යනුවෙන් පවසා ඔවුන් එක්ව සිදු කළ ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ එම ප්‍රකාශය විවේචකයන් විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි.

චීනය විසින් රුසියාවට හමුදා ආධාර ලබා දී නොමැති අතර ක්‍රිමියාව සහ ඇතුළු යුක්‍රේනයේ ප්‍රදේශ යටත් කර ගැනීමට දරන උත්සාහය පවා ඔවුන් පිළිගෙන නොමැති බවයි Fu Cong වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර චීන ජනාධිපති Xi Jinping සහ ප්‍රංශ ජනාධිපති Emmanuel Macron අතර හමුවක් සිදුව තිබෙනවා.

චීනයේ බීජිං අගනුවර ඊයේ(06) මෙම හමුව පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධය නැවැත්වීමට මැදිහත්වන ලෙසට ප්‍රංශ ජනාධිපතිවරයා එහිදී ඉල්ලා ඇති අතර, චීන ජනාධිපතිවරයා ඊට කැමැත්ත පළ කර ඇති බව ද සඳහන්.

ප්‍රංශ ජනාධිපතිවරයා යුරෝපීය කොමිසමේ සභාපතිවරයා සමග චීනයේ බීජිං වෙත පැමිණ ඇත්තේ රුසියා – යුක්‍රේන යුද්ධය වෙනුවට සාමය ස්ථාපිත කිරීම සඳහා රුසියාවට අවධාරණය කිරීමට චීනයේ සහය අපේක්ෂා කිරීමටයි.

බටහිර සම්බාධක හමුවේ රුසියාවේ විශාලතම තෙල් හා ගෑස් ගැනුම්කරුවා වන්නේ චීනයයි.

චීනය එම හවුල්කාරිත්වයට බාධා පැමිණවීමට සූදානමක් නොමැති වුවත් රුසියාවට ඒ හරහා බලපෑම් කිරීමට චීනයට වැඩි හැකියාවක් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Share This