යුද තාක්ෂණය බෙදා ගැනීමට අමෙරිකාවෙන් හා ඉන්දියාවෙන් අලුත් සැලසුමක්

යුද තාක්ෂණය බෙදා ගැනීමට අමෙරිකාවෙන් හා ඉන්දියාවෙන් අලුත් සැලසුමක්

ජෙට්යානා එන්ජින්වල ඒකාබද්ධ නිෂ්පාදනය ඇතුළුව උසස් ආරක්ෂක සහ පරිගණක තාක්ෂණය බෙදා ගැනීමට අමෙරිකාව සහ ඉන්දියාව සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

US – India Initiative on Critical and Emerging Technologies ලෙස හැඳින්වෙන මෙම සැලසුමට අනුව, හවුල්කාර රටවල් සමඟ යුද තාක්ෂණය සහ සැපයුම්දාම සම්බන්ධතා ශක්තිමත් කිරීම සිදුවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන් පවසන්නේ අදාළ සැලැස්ම හුදෙක් චීනය විසින් එල්ල කරන ලද භූ දේශපාලනික අභියෝග හේතුවෙන් මෙහෙයවනු ලබන්නක් නොවන බවයි.

එහෙත් එම ආක්‍රමණශීලී ක්‍රියාකලාපය සහ ආර්ථික බලපෑම් ඉන්දියාවට මෙන්ම ලොව පුරා අනෙකුත් රටවලට දැඩි බලපෑමක් ඇති කරන බවයි ඔහු පැවසුවේ.

ඉන්දියානු යුද ගුවන් යානා සඳහා ජෙට් එන්ජින් ඒකාබද්ධව නිෂ්පාදනය කිරීම අනුමත කිරීම සඳහා අමෙරිකාවේ සුප්‍රකට තාක්ෂණික සමාගමක් විසින් මේවනවිටත් අමෙරිකානු බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම යෝජනාවට අනුමැතිය ලබාදෙන්නේ ද යන්න සම්බන්ධයෙන් මේවනවිට අමෙරිකානු බලධාරීන් කරුණු විශ්ලේෂණය කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් මේ හරහා අමෙරිකාව සහ ඉන්දියාව තාක්ෂණය හුවමාරුව සම්බන්ධයෙන් වේගවත් ප්‍රගතියක් අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

Share This