යුද සමයට අයත් පුපුරණ ද්‍රව්‍ය රැසක් කාම්බෝජයේ පාසැලකින් හමුවෙයි -පාසැල තාවකාලිකව වසා දමයි

යුද සමයට අයත් පුපුරණ ද්‍රව්‍ය රැසක් කාම්බෝජයේ පාසැලකින් හමුවෙයි -පාසැල තාවකාලිකව වසා දමයි

ඊසානදිග කාම්බෝජයේ උසස් පාසලකින් යුද සමයට අයත් පුපුරණ ද්‍රව්‍ය දහස් ගණනක් වළ දමා තිබියදී සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

පසුව මෙම උසස් පාසල තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බවද සඳහන් වනවා

කාම්බෝජයේ කුරිරු සිවිල් යුද්ධය අවසන් වී වසර 48කට පසුවයි මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ

එම කාලයේ Kratie පළාතේ Queen Kosomak උසස් පාසල හමුදා ස්ථානයක් ලෙස භාවිතා කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මලකඩ සහිත පුපුරණ ද්‍රව්‍ය ටොන් ගණනක් සොයාගෙන ඇති අතර, අත්බෝම්බ සහ ටැංකි නාශක විදින යන්ත්‍ර ඒ අතර වනවා

සමස්තයක් වශයෙන්, දින තුනක් තුළ යුධෝපකරණ කැබලි 2,000 කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇති බවයි කාම්බෝජ බිම් බෝම්බ ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් Heng Ratana AFP ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ

උද්‍යානයක් පුළුල් කිරීම සඳහා පොළව එළිපෙහෙළි කිරීමේදී මෙම උණ්ඩ හමුවූ බවත්, මුළු පාසලම එළිපෙහෙළි කළහොත් තවත් බොහෝ දේ ගොඩගැනීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා

කාම්බෝජයේ අට වසරක සිවිල් යුද්ධය 1975 දී අවසන් වූ නමුත්, ඉන් අනතුරුවත් ඒවායෙන් දිගින් දිගටම පීඩා විඳිමට ජනතාවට සිදුව ඇති බවයි පැවසෙන්නේ

මේ අතර 2025 වන විට සියලුම බිම් බෝම්බ සහ පුපුරා නොගිය කාලතුවක්කු ඉවත් කිරීමට කාම්බෝජ රජය පොරොන්දු වී තිබෙනවා .

Share This