
යෞවන සමාජ ගැන හිටපු ජනපති ආණ්ඩුවට අනතුරු අගවයි
තරුණ තරුණියන්ගේ ඉල්ලීමකට අනුව මීට වසර හතළිහකට පමණ පෙර තමන් යෞවන සමාජ ආරම්භ කළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසනවා.
ග්‍රාමීය යෞවන යෞවනියන්ට එක් රැස්වන ස්ථානයක් විනෝදාංශයට, කලාවට, මෙන්ම වෙනත් වැඩ කටයුතු සඳහා ඒ යෞවන සමාජ මාර්ගයෙන් තරුණ දක්ෂතා සහ හැකියා දියුණු කිරීම මෙමගින් බලාපොරොත්තු වූ මූලික කාරණය බව ඔහු තවදුරටත් සදහන් කරනවා.
එම කරුණු බොහෝ සාර්ථක වී ඇති බව රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසයි.
මේ වන විට සමාජයේ නොයෙක් ක්ෂේත්‍ර සඳහා තරුණ තරුණියන් සහභාගී වන බවත් , ගත වූ වසර හතළිහ ඇතුළත යෞවන සමාජ මේ රටේ ප්‍රධාන තරුණ ව්‍යාපාරය බවට පත්ව ඇති බවත් හිටපු ජනාධිපතිවරයා පවසනවා.
යෞවන සමාජ වලින් ඉදිරිපත් වූ ඇතැමුන් දේශපාලනයට පිවිසී ඇති අතර ඇතැම් අය ව්‍යාපාර වල නියැලී සිටින බවත්, මේ සියලු දෙනා එම වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහය දෙන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් සදහන් කළා.
වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ විෂය බාර අමාත්‍යවරයා තරුණ සේවා ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳව විශාල ප්‍රශ්නයක් මතු වී ඇති බවයි.
එම හේතුවෙන් සෑම තැනකම උද්ඝෝෂණ පැවැත්වෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
වික්‍රමසිංහ මහතා තවදුරටත් සිය විශේෂ ප්‍රකාශයෙන් මෙසේ පවසනවා.
” දැනට ජාතික සම්මේලනය පැවැත්වෙනවා. මට ආරංචි හැටියට ඊට පසුවත් උද්ඝෝෂණ පවත්වන්නට යනවා.මෙහෙම ගියොත් යෞවන සමාජ ව්‍යාපාරය පිරිහීමට පත්වේවි. යෞවන සමාජ දේශපාලනීකරණය කිරීම සඳහා අදාල සංශෝධන ගෙනැවිත් තිබෙන බව උද්ඝෝෂණය කරන අය පවසනවා.මේ ප්‍රශ්නය දුරදිග ගෙනයන්නේ නැතිව විසඳාගත යුතුයි. මේ විදියට උද්ඝෝෂණ කරන හිටපු නිලධාරී කණ්ඩායම මෙන්ම දැනට පත්ව සිටින දිස්ත්‍රික් සංවිධාන වල නියෝජිතයන් සමග සාකච්ඡා කොට සියලු දෙනා සෑහීමකට පත්වෙන විසැඳුමක් ලබා දෙන්න.”
” මේ රටේ යෞවන සමාජ දේශපාලනය සඳහා යොදා නොගන්නා බව අප සියලු දෙනාම දැනගත යුතුයි. එය ඇමැතිතුමාටත් මේ කණ්ඩායම් දෙකටත් එකට එකතු වෙලා කරගන්න පුළුවන් වැඩ කටයුත්තක්. එම කාර්යය නොකෙරුනොත් මේ උද්ඝෝෂණ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙනවා. එවිට මේවාට දේශපාලන පක්ෂයත් ඇතුල් වෙන්න පුළුවන්. එහෙම වුනොත් මේ යෞවන සමාජ ව්‍යාපාරය නැති වී යාවි. මට අවශ්‍ය වී තිබෙන්නේ මේ යෞවන සමාජ ව්‍යාපාරය ආරක්ෂා කිරීමයි. මේ කෙටි පණිවිඩය ඔබට ලබා දීමට තීරණය කළේ ඒ නිසයි” , යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා සිය ප්‍රකාශයෙන් පවසනවා.