රජයේ පළමු අයවැය එළඹෙන සඳුදා පාර්ලිමේන්තුවට

රජයේ පළමු අයවැය එළඹෙන සඳුදා පාර්ලිමේන්තුවට

මෙම වර්ෂය සඳහා වන රජයේ අයවැය එළැඹෙන සඳුදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ලබන සඳුදා උදෑසන 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අයවැය කතාව පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතයි.

අනතුරුව අයවැය විවාදය පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට නියමිත බව සඳහන්.

ඒ අනුව පෙබරවාරි 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2025 වසර සඳහා විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7 ක් පැවැත්වීමට නියමිතයි.

අනතුරුව පෙබරවාරි 25 වැනිදා පස්වරු 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තවද 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4 ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන්.

ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අයවැය කාලසීමාව තුළ සෑම දිනයකම පෙ.ව. 9.30 සිට පෙ.ව . 10.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5ක් සඳහා වෙන්කර තිබෙන අතර පෙ.ව. 10.00 සිට ප. ව. 6.00 දක්වා කාලසීමාව තුළ අයවැය විවාදය පැවැත්වීමට නියමිත බව සඳහන්.

එසේම ඡන්ද විමසීම් පැවැත්වෙන පෙබරවාරි 25 සහ මාර්තු 21 දෙදින හැර අනෙකුත් සෑම දිනකම ප.ව. 6.00 සිට 6.30 දක්වා කාලය කල්තබන අවස්ථාවේ යෝජනා සඳහා වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තුව නිවේදනය කර තිබෙන්නේ.

Share This