
රටම එකට මත්ද්‍රව්‍ය මෙහෙයුම් වලින් 5000 ක් අත්අඩංගුවේ
රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කරගනිමින් ආරම්භ කළ ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා සැකකරුවන් 5000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (03) දිනය තුළ පමණක් සැකකරුවන් 1264 දෙනෙකු අත්අඩංගුවට ගෙන බවයි.
දිවයිනපුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කරගනිමින් ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කළේ පසුගිය ඔක්තෝම්බර් මස 30 වැනිදා සිටයි.
ඒ අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයිනපුරා අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මක වනවා.
පොලීසිය පවසන්නේ මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති 887 දෙනෙකුම හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පිරිසක් බවයි.
එමෙන්ම ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් එක් පුද්ගලයෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළා.
තවත් සැකකරුවන් 8 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර, කළුතර බන්ධනාගාරයේ සිට මෙහෙයවූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු බණ්ඩාරගම ප්‍රදේශයේදී රුපියල් කෝටියට ආසන්න මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකා වෙත ලද තොරතුරක් මත බණ්ඩාරගම පුවක්අරඹ ප්‍රදේශයේ නිවසක් වැටලූ අවස්ථාවේ මෙම සැකකාර කාන්තාව මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇයගේ ස්වාමිපුරුෂයා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බව ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.
සැමියා සහ බන්ධනාගාර ගතව සිටින ඔහුගේ හිතවතකු එක්ව වරින් වර මෙම කාන්තාවට දුරකථන ඇමතුම් ලබාදී මත්ද්‍රව්‍ය බෙදාහැරීම් සිදුකර ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා.
