රටේ තියෙන්නෙ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නොව මහජන ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් බව ෆීල්ඩ් මාෂල් පොන්සේකා කියයි

රටේ තියෙන්නෙ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නොව මහජන ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් බව ෆීල්ඩ් මාෂල් පොන්සේකා කියයි

ලංකාව තුළ තියෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නොව මහජන ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් බව ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතා පවසනවා.

ඔහු මාධ්‍ය අමතමින් සඳහන් කළේ පසුගිය කාලය හා මෙය සංසන්දනය කළ නොහැකි බවයි.

කොළඹ පාසල් කිහිපයක INTERACT CLUB රැස්වීමක් අද මහජන පුස්තකාලයේදී පැවැත් වුණ අතර ආරාධිතයකු වශයෙන් මේ අවස්ථාව එක්වූ ෆීල්ඩ් මාෂල්වරයා මාධ්‍යයට අදහස් පළකරමින් මේ බව සඳහන් කළා.

තවදුරටත් අදහස් දැක් වූ ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතා,

” ඒ කාලේ පටන් ගත්ත දාමරික පාතාල කල්ලි තමයි තාමත් තියෙන්නෙ. රජය දැඩි උත්සාහයක් දරනවා පාතාල කල්ලි මත්ද්‍රව්‍ය පාලනය කරන්න. නමුත් අවශ්‍ය ප්‍රමාණයෙන්ම ක්‍රියාත්මක වීමක් තවම නැහැ. මේව මර්ධනය කරන්න තියෙන උනන්දුව අවශ්‍යතාවය අපි අගයන්නන ඕන. සමහර පක්ෂ කුලප්පු වෙලා තියෙනවා. ඒ අයත් මේ මත්ද්‍රව්‍ය පාතාල කල්ලි සමග සම්බන්ධතා තිබිච්ච හින්දා.

කෙහෙල්බද්දර පද්මෙයි, මදුෂ් කියලා තුන් හතර දෙනෙක් ඇල්ලුවා කියලා පාතාලය ඉතා ඉක්මනින් ඉවර කරන්න නම් බෑ. මේක ඇතුලටම බැහැලා සැලැස්මක් ඇතුව කරන්න ඕන වැඩක්.

මේක පාලනය කිරීම එම තනතුරු වල ඉන්න අයගේ වගකීමක්. මම කැමති නැහැ ඒවට බැහැලා මේ රාජකාරි වලට බාධා කරන්න. ඒ අයගේ උත්සාහය තාම සාර්ථක නෑ. නමුත් මම ඒ කට්ටියට සුබ පතනවා.”

නුගේගොඩ දී විපක්ෂයේ පිරිසක් සංවිධානය කරන රැළිය සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍ය විමසා සිටියා.

“නුගේගොඩ රැළියට මම යන්නේ නැහැ. ඒ අයගේ දේශපාලනයේ දැන් වැඩක් නැහැ. ඒ අයට වැඩකුත් නෑ, රටට වැඩකුත් නෑ. ඒ වගේ තැනකට ගිහිල්ලා හිටගන්න තරම් මෝඩ පුද්ගලයෙක් නෙවෙයි මම. මේ අයට ආණ්ඩු බලය තවත් ගන්න නොලැබෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා.

මේ අය රට සංවර්ධනය කරේ නැහැ. අනාගත ළමයි ගැන බැලුවේ නැහැ. මේ අයට බලය දුන්නොත් මේ තත්ත්වයෙම ඉන්න වෙයි.”

යැයි ෆීල්ඩ් මාෂල්වරයා පැවසුවා.

Share This