“රට ගොඩනැගීමේදී අවශ්‍ය වන්නේ අධ්‍යාපනයයි” – අනුර කුමාර දිසානායක

“රට ගොඩනැගීමේදී අවශ්‍ය වන්නේ අධ්‍යාපනයයි” – අනුර කුමාර දිසානායක

අපේ රට ගොඩනැගීමේදී පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් අවශ්‍ය වන්නේ අධ්‍යාපනය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අපට භෞතික සම්පත් අඩු බවත් ඒ වෙනුවට මානව සම්පත තිබෙන බවත් ඔහු සඳහන් කරනවා.

මාතර දිස්ත්‍රික් ගුරු හමුව අමතමින් ඔහු මේබව සඳහන් කළා.

” අපේ රටේ දුප්පත්භාවයේ රේඛාව ඇන්දොත් දුප්පත්භාවයේ රේඛාවයි, නූගත්භාවයේ රේඛාවයි සමපාත වෙනවා. නූගත් නම්, දුප්පත්. දුප්පත්භාවයේ පහළින්ම ජීවත් වන්නේ නුවරඑළිය ජනතාව.

අධ්‍යාපනයේ පහළින්ම ජීවත්වන්නේත් නුවරඑළියේ ජනතාව. අපේ රටේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් 74%ක් 08වන ශ්‍රේණියට පහළින්. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමයි, අධ්‍යාපනයයි අතර සම්බන්ධතාවයක් තිබෙනවා. 2019 රිමාන්ඩ් බාරයට පත්වූ අයගෙන් 84%ක් දහවන ශ්‍රේණියට පහළින්. ඒ කියන්නේ අපරාධයි, අධ්‍යාපනයයි අතර සම්බන්ධතාවයක් තිබෙනවා.

අපේ ආර්ථිකයටත්, දුප්පත්භාවය තුරන්කිරීමත්, මත්ද්‍රව්‍ය පාවිච්චිය අඩුකර ගැනීමටත්, අපරාධ අඩුකර ගන්නත් අධ්‍යාපනය වැදගත්. ඒ නිසා අපි කියනවා අපට වැදගත්ම අධ්‍යාපනය. 2016-2017 කාලයේ පාසල්වලට ඇතුල් වුණා තුන්ලක්ෂ තිස්දහසක් ශිෂ්‍යයන්. මේ අයගෙන් ශිෂ්‍යයන් සාමාන්‍ය පෙළට ප්‍රවිෂ්ට වීමට කලින් තිස්දහසක් පාසල අතහැර යනවා. ඒ කියන්නේ පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන දරුවන්ගේ 9%ක් දහවන ශ්‍රේණියේ විභාගයට ප්‍රථම පාසල හැර යනවා. පළමුවෙන පංතියට ඇතුළත් වෙන කිසිදු දරුවෙකු අතර මැදදී අධ්‍යාපනය අත්හැර නොයන තත්වයක් නිර්මාණය කිරීමට අපට අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවශ්‍යයි. “ යනුවෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා,

 

Share This