රට තුළ නව ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයක් ගොඩනැඟීමේදී මහා සංඝරත්නයේ මඟපෙන්වීම වැදගත්
සියලු ථේරවාද බෞද්ධ රටවල් අපනයන ආර්ථික ක්‍රමය පදනම් කර ගනිමින් දියුණුව කරා පැමිණ තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ශ්‍රී ලංකාව පමණක් ආනයන ආර්ථික ක්රමයක රැඳී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස බංකොලොත්භාවයට පත්ව වූ බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
එබැවින් නව ආර්ථික ක්‍රමයක් මෙන්ම දේශපාලන ක්‍රමයක් ද රට තුළ කඩිනමින් ඇති කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම නව මාවතට රට ගෙන ඒමේදී මහා සංඝරත්නයේ මඟපෙන්වීම සහ අනුශාසනා ඉතා වැදගත් කොට සලකන බව සඳහන් කර තිබෙනවා.
ඒ, ගාල්ල කරන්දෙණිය සිරි අභයතිස්ස පිරිවෙණේ අද (10) පස්වරුවේ පැවති මහා විහාර වංශික අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ 44 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවයට එක්වෙමින්.
අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ උපසම්පදා විනයකර්මය ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද සිට ජූලි 14 වනදා දක්වා මහාඒදණ්ඩ හල්වතුර නදී උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වෙන අතර සාමණේර ස්වාමීන් වහන්සේලා 98 නමක් එහිදී උපසම්පදා ශීලයේ පිහිටුවීම සිදු කරනු ලැබුවා.
විහාරස්ථාන 600කට අධික ප්‍රමාණයක ස්වාමීන් වහන්සේලා 4000කට අධික පිරිසක් නියෝජනය කරන අමරපුර අරියවංශ සද්ධම්යුක්තික පාර්ශ්වය වසර දෙකකට වරක් උපසම්පදා විනය කර්මය සිදුකරනු ලබන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.