රට තුළ සමඟිය, සාධාරණත්වය සහ සමානාත්මතාවය ඇති කිරීමට සියලු ආගම් අතර වන සහෝදරත්වයේ ආදර්ශය ඉතා වැදගත් – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රට තුළ සමඟිය, සාධාරණත්වය සහ සමානාත්මතාවය ඇති කිරීමට සියලු ආගම් අතර වන සහෝදරත්වයේ ආදර්ශය ඉතා වැදගත් – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ඓතිහාසික මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍ය අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (13) සහභාගි වුණා.

මෙම වාර්ෂික දේවස්ථාන මංගල්‍යය මෙවර සංවිධානය වූයේ 118 වැනි වරට වන අතර, ඒ සඳහා සහභාගි වූ අග්‍රාමාත්‍යවරිය වෙත බදුල්ල රදගුරු පදවි දරන අති උතුම් ජූඩ් නිශාන්ත සිල්වා රදගුරු හිමිපාණන් වහන්සේ සහ ගාල්ල රදගුරු පදවි දරන අති උතුම් රේමන් වික්‍රමසිංහ රදගුරු හිමිපාණන් වහන්සේ විසින් විශේෂ ආශිර්වාද පූජාවක් ද සිදුකළා.

දේවස්ථානයේ ප්‍රධාන ශාලාවේ දී මාතර ප්‍රදේශයේ සර්ව ආගමික නායකයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර විශේෂ සුහද හමුවක් පැවැවුණේ ඉන් අනතුරුවයි.

ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතින ඓතිහාසික සිද්ධස්ථානයක් වන අප ස්වාමිදුවගේ දේවස්ථානයේ පැවැත්වෙන මෙම ඓතිහාසික මංගල්‍යය අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම විශාල භාග්‍යයක් බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරිය, ජනාධිපතිතුමා ඇතුළු රජය වෙනුවෙන් මෙම දේව මංගල්‍ය සඳහා සුබපැතුම් එක් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය,

“මේ දේවස්ථානය සහ නගරයේ තිබෙන අනෙකුත් ආගමික ස්ථාන අතර තියෙන සහෝදරත්වය හා ලබැඳියාවෙන් සමඟිය, සාධාරණත්වය හා සමානාත්මතාවය කියන හරයන් වෙනුවෙන් සිදුකරන මැදිහත්වීම අගය කළ යුතුයි. මාතර නගරයට පමණක් නොවෙයි මේ රටටම ඒ අවශ්‍යතාවය තියෙනවා. ඒ ආදර්ශය අපිට අවශ්‍යයි. ඒ ආදර්ශය අපවෙත ලබා දෙන ඔබවහන්සේලා සියලුදෙනා වෙත මම ස්තූතිවන්ත වනවා වගේ ම සමාජය වෙනුවෙන් සිදුකරන මේ සේවය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් සිදුකරන මේ මැදිහත්වීම තවදුරට ඉටුකරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.” යනුවෙන් ප්‍රකාශ කළා.

මේ අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්‍ රාජ් , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වී සිටියා.

 

 

Share This