රත්නපුර රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු අද සංකේත වැඩ වර්ජනයක

රත්නපුර රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු අද සංකේත වැඩ වර්ජනයක

රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රත්නපුර ශික්ෂණ රෝහල් ශාඛාව පැය 24ක සංකේත වැඩ වර්ජනයක් අද(02) උදෑසන 08.00 සිට ආරම්භ කර තිබෙනවා.

එම සංගමය පවසන්නේ රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය දැඩි පීඩාවකට පත්ව සිටින අතර එය රෝහලේ රෝගී සත්කාර සේවාවන්ටද බලපා ඇති බවයි.

අදාල අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පවත්වා රෝහල් කාර්ය මණ්ඩලය මුහුණ දී ඇති ගැටළු විසඳමින්, ආරක්ෂිත වෘත්තීය පරිසරයක් රෝහල තුළ ඇති කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වීම හේතුවෙන් මීට පෙර ප්‍රකාශයට පත්කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කල්දැමූ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම පවසනවා.

මෙතෙක් එම එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් අපොහොසත් වී ඇති නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹි නවටයි වෛද්‍යවරුන් පවසන්නේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන ආරම්භ වුවද, අදාළ ප්‍රශ්නගත රෝහල් අධ්‍යක්ෂවරයා තනතුරේ සිටීම සහ රෝහල තුළ සිටියදීම විමර්ශනය පැවැත්වීම පිළිගත නොහැකි තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධා‍රීන්ගේ සංගමය පවසනවා.

එය අදාළ විමර්ශනයේ අපක්ෂපාති සහ පාරදෘශ්‍ය බවට දැඩි බාධාවක් වී ඇති බවත්, අධ්‍යක්ෂවරයාට ඇති චෝදනාවල සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල වෙමින් පවතින බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රත්නපුර ශික්ෂණ රෝහල් ශාඛාව පෙන්වා දෙනවා.

විමර්ශනයට අදාල ලිපි ලේඛනද වෙනස් කිරීම සහ අස්ථානගත වීමේ අවදානමක් පිළිබඳවද තොරතුරු වාර්තා වී ඇතැයි වර්ජනයේ නිරත විශේෂඥ වෛද්‍යවරුන් සැක පළ කරනවා.

විශේෂඥ වෛද්‍යවරුන් චෝදනා කරන්නේ එමෙන්ම බාහිර පුද්ගල කණ්ඩායම් විටින් විට රෝහල තුළට පැමිණෙමින් වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට විවිධ තර්ජන සිදුකිරීම හේතුවෙන්, රෝහල් පරිශ්‍රය තුළ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් ද නිර්මාණය වී ඇති බවටයි.

මෙම ප්‍රවණතාවයන් සමාලෝචනය කරමින්, රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියා කලාපයට සාධාරණ පාරදෘශ්‍ය විමර්ශනයක් පැවැත්වීමට බල කරමින්, එතෙක් ඔහු රෝහල් අධ්‍යක්ෂ තනතුරෙන් තාවකාලිකව ඉවත් කිරීමට ඉල්ලා සිටිමින් සහ රෝහල් පරිශ්‍රය තුළ ආරක්ෂාව තහවුරු කිරීමට ඉල්ලා සිටිමින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රත්නපුර ශික්ෂණ රෝහල් ශාඛාව අද දින උදෑසන 08.00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් රත්නපුර ශික්‍ෂණ රෝහල තුළ ආරම්භ කරන බව දැනුම් දෙනවා.

වර්ජනයේ නිරත වෛද්‍යවරුන් පවසන්නේ මෙම වැඩ වර්ජන කාලසීමාව තුළදී හදිසි සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා එලෙසම පවත්වාගෙන යනු ලබන අතර, දෛනික ප්‍රතිකාර සේවාවන් සියල්ල අඩාල වනු ඇති බවටයි.

 

Share This