රනිල් වෙනුවෙන් විපක්ෂය එක මිටට (VIDEO)

රනිල් වෙනුවෙන් විපක්ෂය එක මිටට (VIDEO)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවාලීමේ වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙල ඉස්මතු වී පෙනෙන බව ඒකබද්ධ විපක්ෂයේ නායකයන් පවසනවා.

එම පක්ෂයේ නායකයන් රැස්වී අද පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අවධාරනය කෙරුණේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වෙනුවෙන් එක්ව සටන්මගට පිවිසෙන බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ හා එම නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අද (24) කොළඹදී පැවැත්වුණා.

කොළඹ පෞද්ගලික හෝටලයකදී පැවති එම සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.

‘ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු’ යන මැයෙන් පැවති එම මාධ්‍ය හමුවේදී පළමුව අදහස් දැක්වූයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි.

අනතුරුව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය විසින් ඉදිරිපත් කළා. එම නිවේදනයේ දැක් වුණේ මෙසේයි.

” විමර්ශනය බොහෝ දුරට අවසන් වී ඇති අවස්ථාවක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම වටා ඇති විශේෂිත වටපිටාව අපගේ රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සම්බන්ධයෙන් බරපතල කනස්සල්ලක් ඇති කරනු ලබනවා. අප මේ දකින්නේ අපගේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වල සාරය මතට එල්ල කරන ලද කල්ඉකුත් වූ ප්‍රහාරයකි. මෙහි ප්‍රතිවිපාක පුද්ගලයෙකුගේ ඉරණමට හෝ ඕනෑම දේශපාලන කුමන්ත්‍රණයකට වඩා බොහෝ දුර ගොස් අපගේ සමාජයේ සමස්ත අයිතිවාසිකම්වලට අනතුරක් ඇති කරනු ලබනවා. සියලුම දේශපාලන නායකයින් විරුද්ධ වීමට බැඳී සිටින මෙම මුලපිරීම්වලට මගේ නොබිඳිය හැකි විරෝධය ප්‍රකාශ කිරීමට මමත් සම්පූර්ණයෙන්ම එක් වෙමි.”

අනතුරුව මෙරට ජ්‍යෙෂ්ඨතම නීතිඥවරයෙකු සහ දේශපාලනඥයෙකු වන මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, දමිළ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නායක මනෝ ගනේශන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පිරිසක්ද එම මාධ්‍ය හමුවට එක්ව සිටියා.

Share This