
රඳවා ගැනීමේ බද්දට එරෙහිව අධිකරණයට
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චරිත් අසලංක සහ ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
පෙත්සම ඊයේ (18) කරුණු තහවුරු කිරීම සඳහා අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 28 වැනිදා කැඳවන ලෙසයි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්, එහි නියෝජ්‍ය කොමසාරිස්වරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු එහි විධායක කමිටු සාමාජිකයින්, විගණකාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ 1983 වසරේ ශ්‍රී ලංකාවට ටෙස් ක්‍රිකට් වරම් හිමිවීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ක්‍රිකට් කරන ජාතික ක්‍රිඩකින් සමග ලිඛිත ගිවිසුම් අත්සන් කිරීම සිදුවුණේ 1996 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුව බවයි.
එමෙන්ම ඉකුත් ජනවාරි මස 17 වැනිදා රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගතව ජාතික තලයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් එම ආයතනයේ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින් වශයෙන් වර්ගීකරණය කිරීමට තීරණය කළ අතර එම තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැණි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවෝ ජාතික තලයේ ක්‍රීඩකයින් කිසිදු අවස්ථාවක සේවක අර්ථසාධක අරමුදලේ හෝ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ඇතුළු අරමුදල්වල සාමාජිකයින් නොවන බව සඳහන් කර තිබෙනවා.
ඔවුන්ට එවැනි හිමිකම් නොමැති බව පෙන්වාදෙන පෙත්සම්කරුවෝ, මීට අදාළව තමන් නීති විශාරදයින්ගෙන් නීති උපදෙස් ලබාගත් බවත් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්වාධීනව සේවා සපයන්නන් මිස එහි සේවකයින් නොවන බවට තමන්ට නීති උපදෙස් ලැබුණු බවත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.
එම තත්ත්වය යටතේ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර මේ හේතුවෙන් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට දැඩි අගතියක් සිදුවී ඇති බව පෙත්සම්කරුවෝ පෙන්වාදෙනවා.
ඒ අනුව ජාතික තලයේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ වර්ගීකරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය හා ඒ මත ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥා නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇති අතර ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.