රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙන හැටි

රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙන හැටි

2025 ජනවාරි සිට රාජ්‍ය සේවකයි‍න්ගේ මූලික වැටුප 24% සිට 50%ට වැඩි ප්‍රමාණයකින් වැඩි කරන බව වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා පවසනවා.

එමෙන්ම සියළුම රාජ්‍ය සේවකයින් සඳහා පවතින උද්ධමනය හා ආර්ථික සාධක සැලකිල්ලට ගෙන පාදක වසර ලෙස 2025 ජනවාරි මසයේ සිට ජීවන වියදම් දීමනාව වසර තුනක් දක්වා නොවෙනස්ව රුපියල් 25,000.00 බැගින් ලබා දීමටද වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුව යෝජනා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හා භාණ්ඩාගාර එකඟත්වය ලැබී ඇති බව සඳහන් කළ ඔහු නව සංශෝධනය සමඟ රාජ්‍ය සේවයේ පහළම සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 30,000.00ක් වන අතර ජීවන වියදම් දීමනාවද සමඟ මුළු වැටුප රුපියල් 55,000ක් වන බව ප්‍රකාශ කළා.

ඔහු මෙම අදහස් පළ කළේ ’ස්ථාවර රටකට – සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

කුමන ආණ්ඩුවක් බලයට පත් වුවත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවත්, පසුගිය කාලවලදි සිදුකළ රාජ්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ග සලකා බලා වැටුප් විෂමතා නැති කිරීමට මෙම යෝජනා ඉදිරිපත් කළ බවත් උදය ආර්.සෙනෙවිරත්න මහතා පෙන්වාදුන්නා.

Share This