රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම පිළිබඳව අගමැතිගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම පිළිබඳව අගමැතිගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ 26 වන සංවත්සරය සමරමින් සංවිධානය කළ තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙලට සහභාගී වෙමින්.

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීම සඳහා වර්තමාන රජයට දැක්මක් ඇති බවයි.

එමෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය සංවර්ධනය කිරීම, ඩිජිටල් ආර්ථීකයක් නිර්මාණය කිරීම මූළික කරගත් ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බවද අගමැතිනිය මෙහිදී පෙන්වාදී තිබෙනවා.

යාපනය, මාතර සහ නැගෙනහිර පාළාත කේන්ද්‍ර කරගත් ඩිජිටල් කළාප ඇතිකිරීමට රජයේ අවධානය යොමුව යොමු කර ඇති බවත් ජාත්‍යන්තර ඩිජිටල් සමාගම් සහ දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නවෝත්පාදකයින් අතර සබඳතාවයක් ඇති කිරීමට අවශ්‍ය බවත් එහිදී අගමැතිවරිය සඳහන් කර සිටියා.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය නංවාලීම, ඒ සඳහා පහසුකම් සැපයීම, වෘත්තීයවේදීන් සඳහා අවශ්‍ය දීමනා ලබාදීමේ වැදගත්කම පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරිය රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කළ යුතු බවයි පෙන්වා දුන්නේ.

මෙහිදී ඩිජිටල් අංශය සඳහා කාන්තා දායකත්වය වැඩිකිරීමත් අත්‍යාවශ්‍ය බව පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරිය මේ සඳහා සියලුදෙනාගේ සහයෝගය අවශ්‍ය බව ද සඳහන් කර සිටියා.

Share This