රුසියාවට එරෙහි සටනේදී එක්සත් ජනපදයේ සහාය යුක්‍රේනයට-බයිඩන්ගෙන් සෙලෙන්ස්කිට පොරොන්දුවක්

රුසියාවට එරෙහි සටනේදී එක්සත් ජනපදයේ සහාය යුක්‍රේනයට-බයිඩන්ගෙන් සෙලෙන්ස්කිට පොරොන්දුවක්

රුසියාවට එරෙහි සටනේදී එක්සත් ජනපදය යුක්‍රේනයට සහය දෙන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කියෙව්හි හදිසි සංචාරයක නිරත වෙමින් පවසා තිබෙනවා.

යුක්‍රේනයේ සිදු කෙරෙන පළමු සංචාරය ලෙසට ඇමරිකානු ජනාධිපතිවරයා පැමිණ තිබෙන්නේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කර එළඹෙන පළමු සංවත්සරයට දින කිහිපයකට පෙර බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනය සහ බටහිර රටවල් අභිබවා යාමට රුසියාවට හැකි යැයි සිතීම වැරදි චේතනාවක් බවද ඇමරිකානු ජනාධිපතිවරයා පවසනවා.

බයිඩන් මහතා යුක්‍රේනයට පැමිණීම එරට ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සඳහා ඇමරිකාවේ නොසැලෙන කැපවීම යළි තහවුරු කිරීමක් බවද ධවල මන්දිරයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු පෝලන්තයේ සිට පැය 10ක දුම්රිය ගමනක් ගොස් රහසිගතව කියෙව් වෙත ගොස් පසුව නැවත පෝලන්තයට පැමිණි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ජනාධිපති බයිඩන් පිටත්ව යාමට පැය කිහිපයකට පෙර මෙම සංචාරය පිළිබඳව රුසියාවට දන්වා ඇති බවද එක්සත් ජනපද නිලධාරියෙක් සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ සංචාරයෙන් පසුව, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, මිසයිල සහ ගුවන් නිරීක්ෂණ රේඩාර් ඇතුළු යුක්‍රේනය සඳහා ඩොලර් මිලියන 450ක් පමණ වටිනා නව ආරක්ෂක ආධාර තොගයක් ලබාදෙන බවට නිවේදනය කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

එමෙන්ම යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම් නඩත්තු කිරීම සඳහා එක්සත් ජනපදය විසින් Kyiv වෙත අමතර ඩොලර් මිලියන 10 ක හදිසි ආධාරයක්ද ලබා දෙනු ඇති බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා පවසා තිබෙනවා

රුසියාවට එරෙහිව යුක්‍රේනයේ ජයග්‍රහණය රඳා පවතින්නේ අධිෂ්ඨානය මත බවත් ඇමරිකානු ජනාධිපතිවරයා තුළ එවැනි අධිෂ්ඨානයක් තමන් දුටු බවත් යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා.

Share This