රුසියාවෙන් යුක්රේනයට සයිබර් ප්‍රහාර රැල්ලක්

රුසියාවෙන් යුක්රේනයට සයිබර් ප්‍රහාර රැල්ලක්

රුසියාවේ හැකර්වරුන් විසින් නව සයිබර් ප්‍රහාර රැල්ලක් සූදානම් කරමින් සිටින බව මයික්‍රොසොෆ්ට් සමාගමේ පර්යේෂණ වාර්තාවක් අනාවරණය කර තිබෙනවා.

2022 ජනවාරි මාසය ආරම්භයේ සිටම යුක්රේනයේ සංවිධාන 100 කට වැඩි සංඛ්‍යාවකට එරෙහිව සයිබර් ප්‍රහාර එල්ල කිරීම සඳහා නිර්මාණය ක‍රන ලද වෛරස ගණනාවක් සොයා ගැනීමට හැකියාව ලැබුණු බවයි මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කර ඇත්තේ.

දෙරට අතර පවතින යුද ගැටුම්වලදී වැඩි අවධානයක් යොමු වන යුක්රේනයේ බුද්ධි තොරතුරු රැස් කිරීම සඳහා ආරම්භයේ දී රුසියානු හැකර්වරුන් කටයුතු කර ඇති බව සඳහන්.

යුක්රේනයේ සැපයුම් සේවා ආයතන ඇතුළු එරට ආර්ථිකයට වැඩි දායකත්වයක් දක්වන ස්ථාන ඉළක්ක කර ගනිමින් සයිබර් ප්‍රහාර රැල්ල එල්ල කිරීමට ද රුසියාවේ හැකර්වරුන් සූදානමින් පසුවන බව සඳහන්.

මීට අමතරව හැකර්වරුන් විසින් දත්ත සොරකම් කිරීම්, කප්පම් මුදල් ලබා ගැනීම් සහ දත්ත විනාශ කිරීම යන අරමුණුවලින් යුතුව සයිබර් ප්‍රහාර රැල්ල එල්ල කිරීමට කටයුතු කරනු ඇති බවයි මයික්‍රොසොෆ්ට් සමාගම පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව මේ සඳහා යුක්රේනය දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර ඊට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව මයික්‍රොසොෆ්ට් සමාගම වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

කෙසේවෙතත් මයික්‍රොසොෆ්ට් සමාගම නිකුත් කර ඇති අදාළ වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් රුසියානු රජය විසින් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This