රුසියා – යුක්රේන යුද්ධයට මැදි වූවන් ‘මුදා ගන්න’ ඉන්දීය ගංගා මෙහෙයුම
යුක්රේනයේ අතරමංව සිටි ඉන්දියානුවන් 2,100 කට අධික පිරිසක් අසල්වැසි රටවලින් ක්‍රියාත්මක වූ විශේෂ ගුවන් ගමන් 11 කින් ඊයේ (6) ආපසු ඉන්දියාවට රැගෙන විත් තිබෙනවා.
ඒ සමගීන් හංගේරියාවේ ඉන්දීය තානාපති කාර්යාලය නිවේදනය කළේ ගංගා මෙහෙයුමේ අවසන් අදියර ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව තානාපති කාර්යාලය විසින් සපයා දෙනු ලැබූ නවාතැන් හැර වෙනත් ස්ථානවල රැඳී සිටින සියලු ඉන්දියානුවන්ට රාත්‍රී 10ත් 12ත් අතර බුඩාපෙස්ට් නගරයට පැමිණෙන ලෙස ඉන්දීය තානාපති කාර්යාලය සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලා සිටියා.
ඊයේ දිනය පුරා, ගුවන් යානා නවයක් නවදිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගොඩ බස්වනු ලැබූ අතර, එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානා දෙකක් රුමේනියාවේ බුකරෙස්ට් සිට සහ අනෙක හංගේරියාවේ බුඩාපෙස්ට් සිට මුම්බායි වෙත ගොඩ බස්වනු ලැබුවා
අදත් විශේෂ ගුවන් ගමන් අටක් මගින් ඉන්දියානුවන් 1500 කට වැඩි පිරිසක් යළි සිය වෙත ත රැගෙන ඒමට ඉන්දියාව අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මේවන විට ඉන්දීය ජාතිකයින් 15,900කට වැඩි පිරිසක් විශේෂ ගුවන් යානා මගින් ආපසු ගෙන්වා ගැනීමට හැකි වූ බව ඉන්දීය රජය නිවේදනය කළා.
“විශේෂ සිවිල් ගුවන් ගමන් 66කින් ගෙන්වා ගනු ලැබූ ඉන්දියානුවන් සංඛ්‍යාව 13852 දක්වා ඉහළ යනවා. මේ දක්වා, ඉන්දීය ගුවන් හමුදාව විසින් මගීන් 2056ක් ආපසු ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානා 11ක් පියාසර කර ඇති අතර, ගංගා මෙහෙයුමේ කොටසක් ලෙස මෙම රටවලට ටොන් 26ක සහනාධාර රැගෙන ගොස් තිබෙනවා. ” අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ඉන්දීය ගුවන් හමුදාවට අයත් ඇමරිකාවේ නිෂ්පාදිත C-17 Globemasters සහ IL-76 ප්‍රවාහන ගුවන් යානා මගීන් 400ක් පමණ සමඟින් දිගු දුරකට පියාසර කිරීමේ හැකියාව තිබෙනවා.
තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමත් සමග කාබුල්හි රැඳී සිටි ඉන්දීය පුරවැසියන් සහ නිලධාරීන් ඉවත් කිරීමට C-17 ප්‍රවාහන ගුවන් යානය විශාල වශයෙන් යොදා ගැණුනා.
යුක්රේනයේ සිරවූ ඉන්දියානුවන් ඉවත් කිරීම සඳහා ඉන්දීය රජය ආරම්භ කළ ගංගා මෙහෙයුම යටතේ ගුවන් මෙහෙයුම් 80ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඉන්දියානුවන් මුදා ගැනීමේ මෙම දැවැන්ත මානුෂීය මෙහෙයුම පෙබරවාරි 26වනදා ආරම්භ වුණා.
රුමේනියාව, හංගේරියාව, ස්ලෝවැකියාව සහ පෝලන්තය යන රටවල සිට මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනවා.
කිසිදු බාධාවකින් තොරව ඉවත් කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා 20 දෙනෙකුට වැඩි අමාත්‍ය කමිටුවක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පත් කරනු ලැබ තිබෙනවා.
මුදා ගැනීමේ මෙහෙයුම් අධීක්ෂණය හා සම්බන්ධීකරණය සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් හංගේරියාව, රුමේනියාව, ස්ලෝවැකියාව සහ පෝලන්තය යන රටවලට ජෝතිරාදිත්‍ය සින්ඩියා, හර්දීප් සිං පූරි, කිරන් රිජිජු සහ වී.කේ. සිං යන අමාත්‍යවරුන් සිව්දෙනා පිටත් කර යවනු ලැබුවා.
ඔපරේෂන් ගංගා යටතේ හංගේරියාව, රුමේනියාව, ස්ලෝවැකියාව සහ පෝලන්තය යන රටවලින් පැමිණෙන ඉන්දියානුවන් දිල්ලි සහ මුම්බායි ගුවන් තොටුපළේදී සම්බන්ධීකරණයට තවත් අමාත්‍යවරු පිරිසක් පත් කර තිබෙනවා.
ගත වූ කාලය තුල අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගංගා මෙහෙයුම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය ආචර්ය එස්. ජයිශංකර්, විදේශ ලේකම් හර්ෂ් ශ්‍රින්ග්ලා සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවොල් සමග ඉහළ පෙලේ සාකච්ඡා වට තුනක් පවත්වා තිබෙනවා.
එයාර් ඉන්දියා, එයාර් ඉන්දියා එක්ස්ප්‍රස්, ඉන්ඩිගෝ, ස්පයිස් ජෙට්, විස්තාරා, ගෝ එයාර් යන වානිජ ගුවන් සමාගම් සහ ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානා ගංගා මෙහෙයුම සමග එක්ව සිටිනවා.
යුක්රේනයේ සිටින තම රටවැසියන් ගලවා ගැනීමේ මෙවැනි මෙහෙයුම් සිදු කරන එකම රට ඉන්දියාවයි.
යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු යුක්රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ දුරකථනය ඔස්සේ සාකච්ඡා කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්රේනයේ රැඳී සිටින ඉන්දියානුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම ඔවුන් ආරක්ෂිතව ඉවත් කර ගැනීම පිළිබඳ අවධානය යොමු කළා.
ගංගා මෙහෙයුමට සහය දැක්වීම සඳහා පවතින දැඩි අවධානම මධ්‍යයේ වුවත් යුක්රේනයේ කියෙව් හි ඉන්දීය තානාපති කාර්යාලය තවදුරටත් විවෘතව තබා ගැනීමට ඉන්දීය විදේශ අමාත්‍යංශය කටයුතු කර තිබීම කැපී පෙනෙන කරුණක්.
දේශසීමා තරණය කොට අසල්වැසි රටවලට පැමිණෙන ඉන්දීය ජාතිකයින්ට පහසුකම් සැලසීම සඳහා ලිවිව් හි තාවකාලික කාර්යාලයක් පිහිටුවීමට ද කියෙව් තානාපති කාර්යාලය කටයුතු යොදා තිබෙනවා.
ඉන්දීය විදේශ ගමන් බලපත්‍ර අහිමි වූවන් සඳහා හදිසි සහතික නිකුත් කිරීමේ යාන්ත්‍රණයක් ද එහි ස්ථාපිතයි.
යුක්රේනයේ අතරමංව සිටින ඉන්දියානුවන්ට සහන ද්‍රව්‍ය ලබා දීමට සහ ඉවත් කිරීමේ ප්රයත්නයන්ට සහය ලබා දෙන ලෙස ඉන්දීය රජය එරට කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පසුගියදා කර්මාන්තකරුවන් සමඟ පැවති රැස්වීමකදී වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය යුක්රේනයේ සහ එහි අසල්වැසි ප්‍රදේශවල ක්‍රියාත්මක වන ඉන්දියානු සමාගම් පිළිබඳ විස්තර ඉල්ලා සිටියා.
පෝලන්තය, ස්ලෝවැක් ජනරජය, හංගේරියාව සහ රුමේනියාවේ සංවිධාන හා ඉන්දියානු සමාගම් 30 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වනවා.
400 කට අධික ස්වේච්ඡා සේවකයන් පිරිිසක් ඉන්දියාවට පියාසර කිරීමට පෙර මෙම රටවල විවිධ නගරවල නවාතැන් ගන්නා ඉන්දියානුවන්ගේ දේශීය ප්‍රවාහන අවශ්‍යතා සහ ආහාර පාන සැපයීම සඳහා බලමුලු ගන්වා ඇතැයි ඉන්දීව වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් අරුන් චව්ලා පැවසුවා.
මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක අරින්දම් බාෂි සඳහන් කළේ යුක්රේනයේ කාර්කිව් නගරයට එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ එරට විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ඉන්දීය සිසුවාගේ මෘත දේහය රැගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමන් සිටින බවයි.
මේ අතර යුද්ධයෙන් විනාශ වූ යුක්රේනයේ අතරමං වූ තම රටේ පුරවැසියන් ඉවත් කිරීම සඳහා දියත් කර තිබෙන ගංගා මෙහෙයුමේ සාර්ථකත්වයට ගෝලීය අවකාශයේ ඉන්දියාවේ වර්ධනයවන බලය හේතු වන්නේ යැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පූනේහි සහජීවන විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී පවසා සිටියා.
“ගංගා මෙහෙයුම හරහා අපි දහස් ගණනක් ඉන්දියානුවන් යුද කලාපයෙන් ආරක්ෂිතව ඉවත් කරනවා. බොහෝ බලවත් රටවල් තම පුරවැසියන් මුදා ගැනීමේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිනවා. “, අගමැති මෝදි වැඩිදුරටත් සඳහන් කළා.
ඉතිහාසය පුරාවට, ඉන්දියාව විසින් ඉන්දියානු සිසුන් සහ පුරවැසියන් ඔවුන්ගේ මව්බිමට ආපසු ගෙන ඒම සඳහා ලොව පුරා යුද්ධයෙන් විනාශ වූ සහ වෙනත් බලපෑම්වලට ලක්වූ ප්‍රදේශවල සංකීර්ණ හා සාර්ථක මුදා ගැනීමේ මෙහෙයුම් රාශියක් සිදු කර තිබෙනවා. කුවේට් ගුවන් මෙහෙයුම, වන්දේ භාරත් මෙහෙයුම වඩාත් වැදගත් මෙහෙයුම් කිහිපයක් වුණා.
කුවෙට් යුද්ධයට මැදි වූ ලක්ෂ 2ක් වූ ඉන්දියානුවන් යළි මව්බිමට රැගෙන ඒම සඳහා මාස 2ක් පුරා දියත් කෙරුණු කුවෙට් ගුවන් මෙහෙයුම ලොව විශාලතම ගුවන් මුදාගැනීමේ මහෙයුම ලෙස ගිනස් වාර්තා අතරටද එක් වුණා.
වන්දේ භාරත් මෙහෙයුම දියත් කෙරුණේ කොවිඩ් 19 වසංගතයත් සමග ලොව පුරා විවිධ රටවල සිර වූ ඉන්දියානුවන් ලක්ෂ 60ක් යළි මව්බිමට ගෙන්වා ගැනීම සඳහායි.