රෝගාතුරව සිටින භාතිය බලන්න ගිය ඇමති සහ නියෝජ්‍ය ඇමති

රෝගාතුරව සිටින භාතිය බලන්න ගිය ඇමති සහ නියෝජ්‍ය ඇමති

පොල්පිතිගම ප්‍රදේශයේ රෝගාතූරව සිටි ඇතාගේ ප්‍රතිකාර කඩිනම් කිරීමට පරිසර අමාත්‍යවරුන්ගේ උපදෙස්

භාතිය ඇතා පැත්ත වැටිල ජීවිතය ඉල්ලමින් ඉන්න කතාව අපි ඊයෙ කිව්වා.

ඇතා මෙහෙම පැත්ත වැටිල ඉන්නෙ එයාගෙ කකුලෙ ආබාධය නිසයි. ශරීරය දුර්වල වීම නිසයි. එයාට ආධාරකයක් නැතුව කකුල් වලින් හිටගෙන ශරීරයෙ බර දරාගෙන ඉන්න බෑ දැන්.

හැබැයි එයා තවමත් ක්‍රියාශීලීයි. තවමත් දවසකට කෑම 150-200kg වලට වඩා කනව එයා.

නිකවැරටිය වනජීවී කලාපයේ, පොල්පිතිගම ප්‍රදේශයේ රෝගාතුරව ඉන්න භාතිය නිරීක්ෂණය කරන්න අද (04) පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරු පොල්පිතිගම ප්‍රදේශයට පැමිණියා.

එම නිරීක්ෂණයෙන් පස්සෙ අමාත්‍යවරුන් ඇතාගේ ප්‍රතිකාර කඩිනම් කිරීම සහ ඇතාට අවශ්‍ය අනෙකුත් පහසුකම් සලසා දීම සදහා වන ජීවී නිලධාරී මහත්වරුන්ට අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පශුවෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්, විවිධ පරිසර සංවිධාන, මහව පොලිස් ස්ථානයේ නිළධාරීන්, දේශපාලන අධිකාරිය ඇතුළු ප්‍රදේශවාසීන් මෙම ඇතාගේ රෝගී තත්ත්වය පිළිබඳ විමසීමට එක් වෙලා හිටියා.

මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය කකණ්ඩායමක් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරු ඇතාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දැනට රෝගීව සිටින ඇතාගේ රුධිර සාම්පල් සහ සෙම සාම්පල් ලබාගැනීම සිදු කරන ලද අතර ඇතාගේ ස්කෑන් පරීක්ෂණය සහ රුධිර සාම්පල් සහ අනෙකුත් වෛද්‍ය වාර්තා පදනම් කරගෙන ප්‍රතිකාර කඩිනම් කරන ලෙස පරිසර අමාත්‍යතුමා සහ නියෝජ්‍ය අමාත්‍යතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා.

එමෙන් ම නිරන්තරයෙන් ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තා කිරීමටත්, ඒ අනුව ප්‍රතිකාර විධිමත් කිරීමටත් අමාත්‍යවරුන් දෙපළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වුණා.

 

 

 

Share This