ලංකාවට එන ගුවන් යානාත් ඩොලර් නිසා සීමා වෙන ලකුණු

ලංකාවට එන ගුවන් යානාත් ඩොලර් නිසා සීමා වෙන ලකුණු

ශ‍්‍රී ලංකාවේ දැනට පවත්නා ඩොලර් අර්බුදය හේතුවෙන් මගී සහ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානාවලට විශාල ප‍්‍රශ්නයකට මුහුණ දීමට සිදුවී තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

මේ වනවිට ශ‍්‍රී ලංකාවේ ගුවන් තොටුපළවලට එන ගුවන් යානාවලට ඉන්ධන ලබා දෙන්නේ ඩොලර්වලින් ගෙවන්නේ නම් පමණක් බවයි පැවසෙන්නේ.

එසේම එම ගුවන් සේවාවලට ඒවායේ දේශීය නියෝජිතයන් විසින් ඩොලර්වලින් ගෙවිය යුතු මුදල්ද විශාල ප‍්‍රමාණයක් හිඟ ලෙස පවතින බවත් ඒ අනුව ශ‍්‍රී ලංකාවට ගුවන් යානා එවීම සීමා කිරීමටත් ගුවන් ගමන් වාර ප‍්‍රමාණය අඩු කිරීමත් විදේශීය ගුවන් සේවාවන් සලකා බලාගෙන බවත් සඳහන්.

මෙකී අර්බුදය මාස පහක් පමණ කල් ක‍්‍රමයෙන් උග‍්‍ර වෙමින් පැවතුන අතරමේ සම්බන්ධයෙන් විසඳුමකට යෑම සඳහා බලධාරීන් සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡ පවත්වන ලද නමුත් එකඟත්වයකට පැමිණීමට හැකිව නැහැ.

මෙසේ ඩොලර්වලින් ගෙවිය යුතු හිඟ මුදල් වන්නේ ගුවන් යානා ප‍්‍රවේශ පත‍්‍ර විකිණීමෙන් හා ගුවන් බඩුවලින් අදාළ සමාගම්වලට ගෙවිය යුතු ප‍්‍රතිශත මුදලයි.

ඩොලර් අර්බුදය මතුවීමට පෙර මෙම මුදල් ඒවායේ හිමිකරුවන්ට ක්ෂණිකව ගෙවූ අතර මේ තත්ත්වය ශ‍්‍රී ලංකාවේ ඉදිරි සංචාරක ප‍්‍රවර්ධන කටයුතුවලට විශාල බලපෑමක් කරනු ඇතැයිද විශ්වාස කෙරෙනවා.

මෙරට සංචාරක කටයුතු ප‍්‍රවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විශාල මුදලක් ආයෝජනය කර ඇති බවත් ශ‍්‍රී ලංකාවට එන ගුවන් යානා සීමා කිරීමක් සිදුවුවහොත් එසේ ආයෝජනය කළ මුදල් අපතේ යෑමට ඉඩ ඇති බවත් සංචාරක සේවයේ නියුතු ව්‍යාපාරිකයෝ පවසනවා

සතියකට ගුවන් ගමන් වාර දොළහක් ශ‍්‍රී ලංකාවට වෙන් කළ විදේශීය ගුවන් සේවා සමාගම් මේ වනවිට එම ප‍්‍රමාණය ගුවන් ගමන් වාර තුනක් දක්වා අඩුකර තිබෙනවා

මේ අතර ඇතැම් ගුවන් සමාගම් ශ‍්‍රී ලංකාවට ගුවන් යානා එවීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමේ තත්ත්වයක් ද හටගෙන තිබෙන බවයි පැවසෙන්නේ

 

Share This