ලතා මංගේෂ්කාර්ගේ දේහය නිවසට – අමිතාබ් බච්චන් සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් අවසන් ගෞරව (වීඩියෝ)

ලතා මංගේෂ්කාර්ගේ දේහය නිවසට – අමිතාබ් බච්චන් සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් අවසන් ගෞරව (වීඩියෝ)

අභාවප්‍රාප්ත ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා මංගේෂ්කාර්ගේ දේහය මේ වනවිට ඇය ජීවත්ව සිටි නිවසට රැගෙනවිත් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ප්‍රවීණ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් ද පැමිණ ඇති බවයි එටර මාධ්‍ය වැඩිදුරටත් වර්තාකර තිබුණේ.

මේ අතර ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අහමදාබාද් හිදී අද ආරම්භ වූ පළමු එක්දින තරගයට පෙර ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් විනාඩියක නිහැඬියාවක් ආරක්ෂා කරමින් අභාවප්‍රාප්ත ලතා මංගේෂ්කාර්ට ගෞරව දැක්වීම විශේෂ සිදුවීමක් වුණා.

ලතා මංගේෂ්කාර්ගේ අභාවය පිළිබඳ ඉන්දීය ජනපති, අගමැති ඇතුළු දේශපාලනඥයින්ද කලාකරුවන් ඇතුළු බොහේ දෙනා සිය සංවේගය පළ කළා.

ඉන්දියාවේ නයිටිංගේල් ලෙස හැඳින්වෙන ඇය පසුගිය ජනවාරි මාසයේදී කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් රෝහල් ගත කෙරුනා.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටින අතර තුරයි අද (06) පෙරවරුවේ ඇය මෙලෙස අභාවප්‍රාප්ත වුණේ.

1929 වසරේ සැප්තැම්බර් මස 28 වන දින ඉන්දෝර් ප්‍රදේශයේ උපත ලද මේ ප්‍රතිභාපුර්ණ ගායිකාව සිය වෘත්තීමය ගායන දිවියට අත්පොත් තැබුවේ 1943 වසරේදීයි.

එතැන් පටන් දශක 07ට ආසන්න කාලයක් සිය හඬ මාධුර්යය හරහා ලොවක් සනහාලූ ලතා මංගේෂ්කාර් භාරතීය සිනමාවේ ප්‍රධාන පසුබිම් ගායිකාව බවට පත්වුණා.

චිත්‍රපට පසුබිම් ගායිකාවක මෙන්ම සංගීත අධ්‍යක‍ෂිකාවක් සහ නිෂ්පාදකවරියක් ලෙසත් ලතා මංගේෂ්කාර් තරු ලකුණු ලොව සුපතල වන්නට ගතවූයේ ඉතාමත් කෙටි කාලයක් පමණයි.

හින්දි, බෙංගාලි , මරාති ඇතුළු ප්‍රාදේශීය භාෂාවන් රැසකින් සහ විදේශීය භෘෂා 36 කින් ගීත දහස් ගණනක් ගායනා කළ මේ භාරතයේ ගීත කෝකිලාවිය පද්ම විභූෂණ, පද්ම භූෂණ, භාරත් රත්න ඇතුළු ගෞරව සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.

ඇය සිංහල සිනමාව වෙනුවෙන්ද ඇගේ ගීත මාධුර්යය එක්කලේ සැඩ සුළං චිත්‍රපටයේ පසුබිම් ගායනයට එක්වෙමින්.

 

 

 

 

Share This