ලබන වසර වන විට රජය සමඟ සිදු කරන සියලු ගෙවීම් සහ ගනුදෙනු මාර්ගගත ක්‍රම (Online) ඔස්සේ සිදු කරන බවට ජනපතිගෙන් සහතිකයක්

ලබන වසර වන විට රජය සමඟ සිදු කරන සියලු ගෙවීම් සහ ගනුදෙනු මාර්ගගත ක්‍රම (Online) ඔස්සේ සිදු කරන බවට ජනපතිගෙන් සහතිකයක්

ලබන වසර වන විට ජනතාව රජය සමඟ සිදු කරන සියලු ගෙවීම් සහ ගනුදෙනු කටයුතු මාර්ගගත ක්‍රම (Online) ඔස්සේ සිදු කර ගැනීමට හැකි පහසුකම ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා පැවසුවේ වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වූ ඩිජිටල්කරණය මගින් මෙතෙක් කොළඹට සීමා වූ සියලු පරිපාලන කටයුතු ඈත පිටිසර ගම්මාන දක්වා විමධ්‍යගත කරමින් රජයෙන් ඉටු කර ගත යුතු කාර්ය ඉතා සමීපව ඉටු කර ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දෙන බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (01) එක් වෙමින්.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කෙරුණු මෙම කාර්යාලය නවීන තාක්ෂණය ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත‍යි.

මෙතෙක් යාපනය, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශවල ජනතාවට ආගමන හා විගමන සේවා පහසුකම් ලබා ගැනීමට ඉතා දිගු දුරක් ගෙවමින් උතුරු පළාතේ පිහිටි එකම ප්‍රාදේශීය කාර්යාලය වූ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය වෙත යාමට සිදු ව තිබුණා.

මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කර ඇත්තේ උතුරු පළාතෙන් ඉදිරිපත් වන විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්පත්‍ර සංඛ්‍යාව ඉහළ යමින් පවතින හෙයින්, ඒ සඳහා වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක අවශ්‍යතාව ඉටු කරමිනුයි.

යාපනය ජනතාවට ආගමන හා විගමන දෙපාර්තමේන්තු සේවා සැපයීම ආරම්භ කිරීම සංකේතවත් කරමින් ගමන් බලපත්‍ර 03ක් නිකුත් කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

අනතුරුව, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි යාපනය දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරින් සමඟ හමුවකට එක් වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, ජනතා අපේක්ෂා ඉටු කිරීමට නම් දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් එක් ව වැඩ කළ යුතු බවයි.

ජනාධිපතිවරයා එහිදී තමන් වෙත පැවරී ඇති බලය ජනතා සුබසෙත උදෙසා යොදවන රාජ්‍ය නිලධාරින් උපරිමයෙන් ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන අතරම, එම බලය මුදල් වෙනුවෙන් යොදවන රාජ්‍ය නිලධාරින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවද අවධාරණය කළා.

අද වන විට මෙරට සමස්ත රාජ්‍ය සේවකයන්ට රට වෙනුවෙන් තම යුතුකම ඉටුකිරීමට අවස්ථාව ලැබී ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසුවා;

” ඒ වගේම, ඔබේ අත්සනට බලයක් තිබෙනවා. එම අත්සන ජනතාවගේ සේවය සඳහා යොදවනවා නම් අපි ඔබව උපරිම ආරක්ෂා කරනවා. එහෙත් එම අත්සන මුදල් සඳහා යොදනවා නම් ඊට නීතිය ක්‍රියාත්මක කරනවා. අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය ගොඩනඟන රාජ්‍යයක් අපිට අවශ්‍යයි. අපේ රට නීතිය වල් වැදුණු රටක්, රාජ්‍ය ආයතනවල ගෞරවය බිඳ වැටුණු රටක් බවට පත්ව තිබුණා. නැවත සෑම රාජ්‍ය ආයතනයකම ගෞරවය ඇති කළ යුතුයි. ඒ වගේම සැම රාජ්‍ය නිලධාරියෙකුටම යළි ගෞරවය ගෙන දිය යුතුයි. ඒ වෙනුවෙන් අපි එම ආයතනවලට පහසුකම් ලබා දෙනවා.

මම දන්නවා බිම හාරන විට පරණ ඇට සැකිලි මතු වෙනවා. දැන් විශාල ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා චෙම්මනි ප්‍රදේශයේ තිබෙන සමූහ මිනීවළ පිළිබඳ අපි ඉතාමත් විවෘතව විමර්ශනයක් සිදු කරනවා. නැවත එවැනි සමූහ මිනී වළවල් ගොඩ නොගැසෙන රාජ්‍යයක් නිර්මාණය කිරීම අපේ අපේක්ෂාවයි.

මේ වෙලාවේ අපේ රටට අවශ්‍ය හොදම දේ අපි ඉටු කරමින් සිටිනවා. අපේ ආගමික නායකයන්, දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ නියෝජිතයන් අපි සියලුදෙනා එකම අරමුණකින් වැඩ කරමු. දේශපාලන අධිකාරිය ලෙස අපි අපේ පාර්ශ්වයෙන් කළ හැකි සියලු දේ ඉටුකරනවා. අපි සියලු දෙනා එක්ව මේ රට ගොඩනඟමු. ”

 

 

Share This