ලාංකිකයින්ට බූස්ටර් එන්නත දෙන්න ඇණවුම් කර ඇති එන්නත් වර්ගය

ලාංකිකයින්ට බූස්ටර් එන්නත දෙන්න ඇණවුම් කර ඇති එන්නත් වර්ගය

තෙවන මාත්‍රාවක් සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මේ වන විට ඇණවුම් කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ මෙම එන්නත තොග සදහා අත්තිකාරම් මුදල් ගෙවා අවසන් බවයි

ලෝක බැංකුව මගින් මෙම එන්නත් සඳහා අවශ්‍ය සියලු ම මුදල් ඔක්තෝබර් 1 වන දා වන විට ගෙවන බවද ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා

ඒ මහතා පවසන්නේ එන්නත්කරණය සහ වසංගත රෝග සම්බන්ධ විශේෂඥ කමිටුව මැයි මාසයේදී කළ ඉල්ලීමකට අනුව මෙය ඇණවුම් කර ඇති බවයි.

කෙසේ වෙතත්, එම එන්නත් මාස 6කට පසුව ලබා දීමට සිදු වන බවත් ඒ අනුව, ඔක්තෝබර් මාසයේදී හෝ නොවැම්බර් මාසයේදී මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ සූදානම් කරන බවත් සඳහන් කරනවා

ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ එම එන්නත ලබා දීම, බෙදාහැරීම, එහි ප්‍රමුඛතාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරන බවයි

“අපේ එන්නත්කරණ සහ වසංගත රෝග විශේෂඥ කමිටුව විසින් මැයි මාසයේදී නිර්දේශයක් කරා ප්‍රතිශක්තිය අඩු වීමත් එක්ක අවදානම් කලාපයට යන්න පුළුවන් පුද්ගලයින්ට තුන් වන මාත්‍රාවක් ලබා දීම සදහා අවශ්‍ය එන්නත් ඇණවුම් කරන්නැයි කියල. එතකොට ඒ නිර්දේශයට අනුව අපි ඒ තිබිච්ච දත්තයන්ට අනුව MRNA තාක්ෂණයට තියන එන්නත් තමයි මේ සඳහා සුදුසුයි කිව්වේ. අපි ලියාපදිංචි කරල තියෙන ෆයිසර් ආයතනයත් සමග සාකච්ඡා කරලා, ඒ අය එකඟ වුණා මිලියන 14ක් එන්නත් අපට ලබා දෙන්න.

ඒ කියන්නේ අපි එන්නත්කරණය කළ යුතු ජනගහනයෙන් 60%ක පමණ ප්‍රමාණයක් අපිට මේකට අයිති වෙනවා. ද්විත්ව එන්නත ලබා දීමෙන් පස්සේ එන්නතේ ප්‍රතිශක්තිය අඩු වෙනවා කියල පෙනුනොත්, එන්නත් දීමේ අවශ්‍යතාවයක් තියෙනව නම් ඒ හැම කෙනෙකුට ම අඩුපාඩුවකින් තොරව එන්නත් ලබා දීම සඳහා අවශ්‍ය සියලු එන්නත් ලංකාවට ලබා ගැනීම සඳහා කටයුතු සූදානම් කරල ඉවරයි.” යනුවෙන් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරනවා

Share This