ලෝකයේ රටවල් රැසක් පොදි බැඳගෙන ඉන්දියාව කරන්නට යන දේ

ලෝකයේ රටවල් රැසක් පොදි බැඳගෙන ඉන්දියාව කරන්නට යන දේ

 

එක්සත් ජාතීන්ගේ ලෝක භූගෝලීය තොරතුරු සම්මේලනයේ (UNWGIC) දෙවන සැසිවාරය ඔක්තෝබර් 11 වැනිදා ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී ආරම්භ වුණා.

මෙම පස්දින සැසිවාරය සඳහා ඉන්දියාවේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුව සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් සත්කාරකත්වය දරන අතර, ගෝලීය භූගෝලීය තොරතුරු කළමනාකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥ කමිටුව විසින් කැඳවනු ලබනවා.

ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීමට සහ අධීක්ෂණයට සහාය වීම සඳහා ඒකාබද්ධ භූගෝලීය තොරතුරු යටිතල පහසුකම් සහ දැනුම් සේවාවල වැදගත්කම පිළිබිඹු කිරීම එක්සත් ජාතීන්ගේ ලෝක භූගෝලීය තොරතුරු සම්මේලනයේ අරමුණුයි.

මෙම සම්මේලනය පිළිබඳව අප සඳහන් කරන්නේ, මෙවර සැසිවාරය විශේෂයෙන් ඉන්දියාවට සිය තිරසර සංවර්ධන ඉලක්ක සපුරාලීමේ මාවත් ලොවට හෙළිකිරීමේ මාවතක් මෙමගින් විවෘත වූ බැවිනි.

ඒ අනුව මේ වන විටත් හෙළිවූ කරණු, සමස්ත ලෝකයටම ඉන්දියාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා

සිය රටේ ප්‍රගතිය පිලිබඳ සමාලෝචනයක්ද සමගින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සැසිවාරයේ සමාරම්භක දේශනය සිදුකළා .

අගමැතිවරයාගේ දේශනය සාරාංශය බවට පත්වී තිබුණේ ‘අර්බුදකාරී අවස්ථාවකදී එකිනෙකාට උපකාර කිරීම සඳහා අන්තර්ජාතික ප්‍රජාව විසින් ආයතනික මට්ටමින් ප්‍රවේශයක් ලබාගත යුතුව ඇති’ බවයි. එහිදී අගමැතිවරයා පෙන්වා දුන්නේ තාක්‍ෂණය සහ දක්ෂතා උපයෝගී කරගනිමින් ඉන්දියාව විශිෂ්ට ගමනක නිරතවෙමින් සිටින බවයි.
“තාක්‍ෂණය සහ දක්ෂතා යනු ඉන්දියාවේ සංවර්ධන ගමනට ප්‍රධාන වන කුළුණු දෙකකි. ඉන්දියාව යනු විශිෂ්ට නවෝත්පාදන ආත්මයක් ඇති තරුණ ජාතියක්” යැයි සඳහන් කළ අගමැතිවරයා, ඉන්දියාව බොහෝ ක්ෂේත්‍රවලදී, ලෝකයේ ඉහළම ආරම්භක මධ්‍යස්ථානයක් බවද පෙන්වා දුන්නා .

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, “උද්යෝගමත් දැක්මක් මත අපි කටයුතු කරමින් සිටිමු. එනම් අවසාන සැතපුමේ සිටින අවසාන පුද්ගලයා දක්වා සවිබල ගැන්වීම අපගේ අරමුනයි” යනුවෙනුයි.

ඇමරිකා එක්සත් ජනපදයටත් වඩා වැඩි, මිලියන 450 ක ජනතාවක් බැංකු ජාලය යටතට ගෙන ඒමට ඉන්දියාව කටයුතු කර ඇති බව පෙන්වාදුන් ඉන්දීය අගමැතිවරයා, ප්‍රංශයේ ජනගහනය මෙන් දෙගුණයක් පමණ වන මිලියන 135 ක ජනතාවකට රක්ෂණයක් ලබා දුන් බවද සඳහන් කර සිටියා.

එසේම පවුල් මිලියන 110 කට සනීපාරක්ෂක පහසුකම් සහ පවුල් මිලියන 60 කට වැඩි පිරිසකට නළ ජල සම්බන්ධතා ලබා දී ඇති බවද හෙතෙම එහිදී පෙන්වා දුන්නා.

මෙලෙස ඉන්දියාවේ ඉදිරි ගමන පෙන්වා දෙන අගමැති මෝදි, ලබන දෙසැම්බරයේ ලොව බලගතුම ජාතින් 20කට සත්කාරකත්වය දැක්වීමටද සුදානමින් සිටි. එනම්, ඉන්දියාව 2022 දෙසැම්බර් 1 වන දින සිට වසරක් සඳහා ලොව ප්‍රබලතම G20 රටවල් කණ්ඩායමේ (විසිදෙනාගේ කණ්ඩායම) සභාපතිත්වයද භාර ගන්නා අතර, සභාපති ධුර කාලය තුළ රැස්වීම් 200 කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට අපේක්ෂා කරනවා.

. මීළඟ G20 සමුළුව 2023 සැප්තැම්බර් 9 සහ සැප්තැම්බර් 10 යන දිනවල නවදිල්ලියේ පැවැත්වෙන්නේ ඒ අනුවය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය මාස කිහිපයක කාලය ඇතුලත ගෝලීය වශයෙන් වැදගත් වන ලෝක සංචාර කිහිපයකටම එක් වුණා . මෙම සංචාර සියල්ලේම මුඛ්‍ය අරමුණ බවට පත්ව තිබුණේ, ලෝකය බරපතල අර්බුදයකට ලක්කර ඇති රුසියානු-යුක්රේන යුද්ධය හමුවේ සමථකරුවකු ලෙස කටයුතු කිරීමට සහ ගෝලීය නිෂ්පාදන අවශ්‍යතා සම්පුර්ණ කිරීමට ඉන්දියාව දක්වන කැපවීම අවධාරණය කිරීමටය. ඉන්දීය අගමැතිවරයාගේ මෙම සංචාර අතරිනුදු වඩාත් අවධානයක් යොමුවූයේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ 2022 සමුළුවට සහභාගී වීම වෙනුවෙන් උස්බෙකිස්තානයට ගිය ගමන කෙරෙහියි.
රටවල් අටකින් සමන්විත ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) 22 වැනි සමුළුව පසුගියදා උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් අගනුවරදී පවත්වනු ලැබුවා.

සමුලුව පැවැත්වුණේ යුක්රේනයට රුසියානු ආක්‍රමණය සහ තායිවාන සමුද්‍ර සන්ධියේ චීනයේ ආක්‍රමණශීලී මිලිටරි හැසිරීම් මගින් වර්ධනය වන භූ-දේශපාලන කැලඹීම් මධ්‍යයේයි. 1996 දී ‘ෂැංහයි ෆයිව්’ ලෙස මෙම කලාපීය කණ්ඩායම් ආරම්භ කළ අතර එය අද ඉන්දියාව,චීනය,කසකස්ථානය,කිරිගිස්තානය,පාකිස්ථානය,රුසියාව,තජිකිස්ථානය සහ උස්බෙකිස්ථානය යන රටවල් අටක බලගතු කණ්ඩායමක බවට පරිවර්තනයවී තිබෙනවා.

එය අද ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 30 කට ආසන්න ප්‍රමාණයක් සහ ලෝක ජනගහනයෙන් සියයට 40 ක් පමණ නියෝජනය කරනු ලබනවා. මෙවර සමුළුවේදී විශේෂිත අවධානයක් යොමුවූයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමුළුව අමතා කරන ලද කතාවටය. ඔහුගේ දේශනයේදී, මෝඩි වත්මන් භූ-දේශපාලන තත්වයේ සෑම අදාළ අංගයක්ම තරයේ ස්පර්ශ කිරීමට වගබලා ගත්තා. විශේෂයෙන්, කලාපය තුළ විශ්වසනීය, ඔරොත්තු දෙන සහ විවිධාංගීකරණය වූ සැපයුම්දාමයන් සංවර්ධනය කිරීමට උත්සාහ කරන ලෙස ඔහු SCO සාමාජිකයන් වෙතින් ඉල්ලා සිටියා.

ඉන්දියාව SCO හි මූලාසනය භාරගෙන, 2023 මැද භාගයේදී සමුළුවට සත්කාරකත්වය දක්වන අතර, ලබන වසරේ ඉන්දියාව නියමුවා ලෙස ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින නිෂ්පාදන පිළිබඳ මුලපිරීම් කෙරෙහි ද ඔහු අවධානය යොමු කරනු ලැබුවා.

සමුළුවේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ මෝදිගේ ද්විපාර්ශ්වික සාකච්ඡාවද වැඩි අවධානයට ලක් වුණා. නායකයන් දෙදෙනා සම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික සුබපැතුම් බෙදාගත් අතර, නූතන යුගය යුද්ධයේ කාලයක් නොවන බව අගමැති මෝදි විශේෂයෙන් එහිදී අවධාරණය කර සිටියා. යුක්රේන ගැටුම සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය එහිදී පිලිගෙන ඇති ජනපති පුටින්, කඩිනම් විසඳුමක් සෙවීම සඳහා තම කැපවීම යළිත් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

. මේ අතර ඉන්දියාව විසින් යුක්රේනයේ යුද්ධය පිළිබඳව රුසියානු නායකයා සමඟ සෘජුවම තම කනස්සල්ල ප්‍රකාශ කිරීම, යුද්ධයේ ආක්‍රමණශීලීත්වයේ බලපෑම් පිළිබඳ ගෝලීය අවධානයන් පිළිබිඹු කරන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පසුගිය සතියේ ප්‍රකාශ කරනු ලැබුවේ මෙම ඉන්දීය-රුසියානු නායකයන්ගේ හමුවෙන් අනතුරුවය. මෙය යුක්රේනයේ “යුද්ධයට කාලය නොවේ” යැයි මෝදි විසින් පුටින්ට පැවසීම ගැන ප්‍රධාන ධාරාවේ ඇමරිකානු මාධ්‍ය විසින්ද ඉන්දීය අගමැතිවරයාට ප්‍රශංසා කරමින් වාර්තා කර තිබෙනවා .

එය වොෂින්ටන් පෝස්ට් සහ නිව් යෝර්ක් ටයිම්ස් යන වෙබ් පිටු දෙකෙහිම ප්‍රධාන පුවත බවට පත්ව තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිවෙලින් ජර්මනියේ සහ උස්බෙකිස්තානයේ පැවති G7 සමුළුව සහ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුව ඇතුළු අන්තර්ජාතික සමුළුවලට සහභාගී වෙමින් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා අවම තරමින් මේ වසරේ, මේ දක්වා විදේශ සංචාර හයක්වත් සිදු කර අවසන්.. පසුගිය මැයි 16 වන දින, ශ්‍රී ලංකාවේ වෙසක් උත්සව සැමරුමට සමගාමීව අගමැති මෝදි අසල්වැසි නේපාලයේ කෙටි සංචාරයක නිරත වුණා. සංචාරය අතරතුර අගමැති මෝදි පැවසුවේ සමීප ඉන්දීය-නේපාල සබඳතා “සමස්ත මානව වර්ගයාගේ ප්‍රයෝජනය සඳහා උපකාර කරනු ඇති” බවයි.

ඉන්දීය අගමැතිවරයා මේ වසරේ දෙවරක් ජපානයට ගිය අතර, ඉන් පළමු සංචාරය වූයේ මැයි මස අගදී ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සමඟ සාකච්ඡා පැවැත්වූ චතුරස්‍ර ආරක්ෂක සංවාදයට (QUAD) සහභාගී වීමය.

ටෝකියෝ හි පැවති Quad සමුළුවේ සිය ආරම්භක අදහස් දැක්වීමේදී අගමැති මෝදි පැවසුවේ චතුරස්රාකාර සන්ධානය “යහපත් වෙනුවෙන් පවතින බලවේගයක්” බවයි.

අගමැති මෝදි මේ වසරේ සහභාගී වූ වඩාත් වැදගත් සමුළුවලින් එකක් වූයේ ජුනි මාසයේ ජර්මනියේ පැවති G7 සමුළුවයි. G7 සමුළුව පැවැත්වූ ස්ථානය වන Schloss Elmau හිදී ජර්මානු චාන්සලර් ඔලාෆ් ශොල්ස් (Olaf Scholz) විසින් ඔහු පිළිගනු ලැබුවා.

ඔහු සමුළුවට සමගාමීව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා සහ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.

සමුළුව අමතමින් අගමැති මෝදි ප්‍රකාශ කළේ පිරිසිදු බලශක්ති ක්ෂේත්‍රය ඉන්දියාවේ ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස මතු වී ඇති බවත්, සංවර්ධිත ආර්ථිකයන් මෙම ක්ෂේත්‍රයේ ආයෝජනය කළ යුතු බවයි.

සාර්ථක ජර්මනියේ සංචාරයක් නිම කරමින් ජූනි 29 වැනි දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණි අගමැති නරේන්ද්‍ර මෝදි, එහිදී ජනාධිපති ෂීක් මොහොමඩ් බින් සයීඩ් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලැබුවා.

මැයි 13 වන දින අභාවප්‍රාප්ත වූ ජනාධිපති සයීඩ්ගේ පූර්වගාමියා වූ ෂෙයික් කලීෆා බින් සයීඩ්ගේ අභාවය පිළිබඳව එහිදී ඉන්දීය අගමැතිවරයා සිය ශෝකය ප්‍රකාශ කර සිටියා. එසේම නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජනාධිපති සයීඩ් හටද අගමැතිවරයා සුබ පැතුම් එක් කර සිටියා.
මෙම සියලුම සංචාරයන් සහ අන්තර්ජාතික සහභාගිවීම් දෙස බලනවිට පෙනීයන්නේ, 2022 යනු ඉන්දියාව ලෝකයට විශාල වශයෙන් නිරාවරණය කෙරුණු සහ ඉන්දියාවේ අවශ්‍යතාව අන් කවරදාකටත් වඩා ලෝකයට පෙන්වාදීමට නරේන්ද්‍ර මෝදි සමත්වූ කාලසීමාවක් ලෙසය.

Share This