ලෝකයේ සෑම තුන් දෙනෙකුගෙන්ම එක් අයෙක් ඉන්දිය හෝ චීන ජාතිකයෙක්

ලෝකයේ සෑම තුන් දෙනෙකුගෙන්ම එක් අයෙක් ඉන්දිය හෝ චීන ජාතිකයෙක්

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව ඉන්දියාව, චීනය අභිබවා ලොව ජනාකීර්ණම රට බවට පත්වීමට සූදානමින් සිටින බව අල්ජසීරා පුවත් සේවය වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසනවා.

1950 දී මිලියන 350 ක ජනගහනයක් සිටි ඉන්දියාවේ ජනගහනය අද වන විට බිලියන 1.43 ක් දක්වා හතර ගුණයකට වඩා වැඩි වී ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර, 2021 දී බිලියන 1.42 දක්වා ඉහළ ගිය චීනයේ ජනගහනය මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවද සඳහන්.

ඉන්දියාවේ සහ චීනයේ ඒකාබද්ධ ජනගහනය බිලියන 2.8 ක් පමණ වන අතර, ඒ අනුව ලෝකයේ සෑම පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් එක් අයෙක්ම චීනයේ හෝ ඉන්දියාවේ පුද්ගලයෙක් වනවා.

ඉන්දියාව සිය අවසන් සංගණනය සිදු කර වසර 11කට වැඩි කාලයක් ගත වී ඇති බැවින් එරට පුද්ගලයින් සංඛ්‍යාව කොපමණ දැයි නිශ්චිතව දැන ගැනීම දුෂ්කර බවයි අදාළ වාර්තාවල දැක්වෙන්නේ.

2011 වසර වන විට ඉන්දියාවේ මිලියනය ඉක්මවූ ජනගහනයක් සහිත නගර 27ක් තිබුණු අතර, අද වන විට එම සංඛ්‍යාව ඇස්තමේන්තුවලට අනුව 50කට ආසන්න වී ඇති බව සඳහන්.

ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය නවදිල්ලි අගනුවර වන අතර එහි මිලියන 30 ක පමණ ජනතාවක් සිටිනවා.

එය රටක් වූයේ නම්, එය මැලේසියාව, ඝානාව සහ මොසැම්බික්වලට පසුව ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත 50 වැනි රට වනු ඇති.

ඉන්දියාවේ දෙවන වැඩිම ජනගහනය සහිත නගරය සහ රටේ කාර්යබහුලම වරාය නගරය වන මුම්බායි නගරයේ මිලියන 20 ක පමණ ජනතාවක් වාසය කරනවා.

ඉන්දියාවේ නැගෙනහිර කොටසේ බංගලාදේශ දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති කොල්කටාහි මිලියන 15 ක ජනගහනයක් ජීවත්ව සිටින බවද සඳහන්.

බැංගලෝර් ජනගහනය මිලියන 12 ක් පමණ වනවා.

චීනයේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන්නේ මිලියන 27 ක ජනගහනයක් සිටින ෂැංහයි වන අතර, මිලියන 20 ක් සිටින බීජිං සහ මිලියන 16 ක් සිටින චොංකිං නගර අනුපිළිවෙලින් දැක්විය හැකියි.

ෂැංහයි රටක් වූයේ නම්, ඕස්ට්‍රේලියාව, කැමරූන්, වෙනිසියුලාව හෝ සමස්ත එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ වැසියන්ට සමාන සංඛ්‍යාවක් එහි සිටින බව සඳහන්.

බීජිං නගරයේ ජනගහනය, මලාවි, රුමේනියාව, ශ්‍රී ලංකාව හෝ එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වැසියන් සංඛ්‍යාවට සමාන වනවා.

මේ අතර, 1960 න් පසු පළමු වතාවට චීනයේ මරණ සංඛ්‍යාව, උපත් සංඛ්‍යාව ඉක්මවා ඇති බව සඳහන්.

බීජිං ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, 2022 දී උපත් සංඛ්‍යාව මිලියන 9.56 ක් වූ අතර මරණ මිලියන 10.41 වාර්තා වී තිබෙනවා.

අල්ජසීරා පුවත් සේවය තවදුරටත් වාර්තා කරන්නේ ඉන්දියාවේ දෛනිකව 63,000ක් පමණ උපත ලබන බවයි.

2021 සහ 2022 දී කොරොන වයිරස් වසංගතයේ උච්චතම අවස්ථාව තුළ දී පවා ඉන්දියාවේ උපත් මිලියන 13.3 ක් සහ මරණ මිලියන 12.8 ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර වඩාත් අවධානය යොමු කළ යුතු සිදුවීම වන්නේ ලෝකයේ අනෙකුත් බොහෝ රටවල මෙන්ම, චීනයේ සහ ඉන්දියාවේත් ජනගහනයෙන් බහුතරය වයස්ගත වෙමින් පැවතීමයි.

එය අනාගත ලෝකය මුහුණ දෙන තවත් එක් අභියෝගයක් ලෙසටයි හැඳින්වෙන්නේ.

Share This