ලෝක බැංකුවෙන් යුක්‍රේනයට අතිරේක මූල්‍යාධාරයක්

ලෝක බැංකුවෙන් යුක්‍රේනයට අතිරේක මූල්‍යාධාරයක්

යුක්‍රේනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක අතිරේක මූල්‍යාධාරයක් ලබාදෙන බව ලෝක බැංකුව නිවේදනය කර තිබෙනවා.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) එම ආධාර මුදල ලබා දීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යුක්‍රේනයේ අයවැයට සහය වීමට සහ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට එම අතිරේක ප්‍රදානය ලබාදෙන අතර එරට විශ්‍රාම වැටුප් ගෙවීමට මෙන්ම අභ්‍යන්තර අවතැන් වූවන්ට සහාය වීමට ද ඉදිරියේ දී ලබාදෙනු ලබන ප්‍රතිපාදන ඉහල නැංවීම සිදු කරන බවයි ලෝක බැංකුව සඳහන් කර ඇත්තේ.

එමෙන්ම වොෂින්ටනය යුක්රේනය සඳහා අතිරේක ඩොලර් බිලියන 10 ක ආර්ථික ආධාරයක් සූදානම් කරමින් සිටින බව ද සඳහන්.

යුක්‍රේනය සඳහා ණය වැඩසටහනක් එක් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටින බවට අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

යුක්‍රේනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15ක බහු අවුරුදු පැකේජයක් ද අපේක්ෂා කර තිබෙනවා.

Share This