
වංචනික විදේශ රැකියා නියෝජිතායතනයක් වටලයි
වංචනික විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය මෙම වංචනික විදේශ රැකියා නියෝජිතායතනය කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ජූනි මස 25 වැටලීම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
කොට්ටාව, මාකුඹුර හන්දියේ Pearl Wings Visa Consultancy යන නමින් නිතිවිරෝධි විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවටත්, එම ආයතනය මගින් රුමේනියාව, ඇල්බේනියාව, සයිප්‍රස් යන රටවල රැකියා සඳහා බඳවාගැනීම් සිදුකරන බවට කාර්යාංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණා.
කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අදාළ ආයතනයේ හිමිකරු එහිදී අත්අඩංගුවට ගත් අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු වෘත්තියෙන් නීතිඥවරයෙකු බවත් හෙළිවී තිබෙනවා.
අදාළ ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 50ක්, රැකියා අයදුම්පත්, වීසා ලේඛන ඇතුළු තවත් ලේඛන විශාල ප්‍රමාණයක් නිලධාරීන් භාරයට ගැනීමටයි සමත් වුණේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ දින (26) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මෙම වැටලීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු කපිල කරුණාරත්න, ඉදුනිල් පුෂ්පකුමාර, අමිල පෙරේරා, මහීෂ කොඩිප්පිලිආරච්චි, මධුශාන් විජේවර්ධන හා ගයේෂා සුභාෂිණි යන නිලධාරීන් එක් වුණා.
මේ අතර, රැසියාවේ රැකියා සඳහා ශිෂ්‍ය වීසා මගින් තරුණයෙකු යොමුකළ බලපත්‍රලාභියෙකුද විශේෂ විමර්ශන අංශය මගින් ජූනි 25 දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුසියාවේ චොකලට් නිශ්පාදනාගාරයක රැකියාව සඳහා ශිෂ්‍ය වීසා මගින් ගොස් පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට මාස 3ට පසු යළි දිවයිනට පැමිණි තරුණයෙකු විසිනුුයි කාර්යාංශය වෙත පැමිණිලි කර ඇත්තේ.
ඒ අනුව අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා මෙම බලපත්‍රලාභියා කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා..
මෙම රැකියා නියෝජිතායතනයට රැසියාවේ ඇගළුම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරීම සඳහා රැකියා ඇණවුමක්ද තිබී ඇති අතර, බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරන ලද අදාළ රැකියා නියෝජිතායතනයේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කාර්යාංශය පියවර ගත්තා.
අත්අඩංගුවට ගත් රැකියා නියෝජිතායතනයේ හිමිකරු ඊයේ දින මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, පැමිණිලිකරුට උසාවි භුමියේදීම රුපියල් ලක්ෂ 2ක මුදලක් ගෙවූ අතර, ඉතිරි මුදල් හැකි ඉක්මණින් ලබාදෙන බවට පොරොන්දු වුණා.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා..
ඉදිරි නඩු දිනය ජූලි මස 24 වන දින යළි කැඳවීමට නියමිතයි.