
වගා හානි වන්දි සඳහා රුපියල් බිලියන 02ක් වැය වෙයි.
2023-24 මහ කන්නයේ වගා හානි වන්දි සඳහා රුපියල් බිලියන 02ක් වැය වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
2023-24 මහ කන්නයේ දී පැවැති අධික වර්ෂාව හේතුවෙන් හානියට පත් වගාවන් සඳහා රුපියල් බිලියන දෙකක මුදලක් වැය වෙනු ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරනවා.
දැනට වගාහානි වන්දි ලබා දීම සඳහා රුපියල් බිලියනයක මුදලක් ලැබී ඇති අතර තවත් රුපියල් බිලියනයක මුදලක් රජයෙන් ඉල්ලීමට පියවර ගන්නා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
2023/24 මහ කන්නයේ දී අධික වර්ෂාව නිසා වැඩිම හානිය අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර අම්පාර දිස්ත්‍රික්කයේ වගා හානි වන්දි ලබා දීම සඳහා අඩු තරමින් රුපියල් මිලියන 800ක පමණ මුදලක් වැය වෙනු ඇතැයි ගණන් බලා තිබෙනවා.
පසුගිය මහ කන්නයේ දී වගා හානියට පත් වූ වගා බිම් ප්‍රමාණය අක්කර 100,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම 2024 යල කන්නයේ දී ද වර්ෂාව නිසා වගා හානි රැසක් වාර්තා වී තිබුණා.
දැනට ලැබී ඇති තොරතුරු මත අක්කර 15,713ක් වර්ෂාව නිසා හානියට පත්ව තිබෙනවා.
මේ සඳහා වන්දි වශයෙන් වැය වන මුදල මෙතෙක් ගණන් බලා නොමැති බවයි වාර්තා වන්නේ.
කෙසේ වුවද මේ සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සුබසාධනය වෙනුවෙන් රජය විශාල මුදලක් වැය කරන බවත්, දේශගුණික වෙනස්වීම් නිසා සිදුවන වගා හානි පසුගිය දශකය තුළ විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත් සඳහන් කළා.
රට ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ පා සිටින මෙවැනි අවස්ථාවක වගා හානි වන්දි වශයෙන් රජය විසින් ගොවිජනතාවට ලබා දෙන වන්දි මුදල කිසිසේත්ම ඔවුන්ගෙන් අය කර ගත් මුදල් නොවන බවත්, එම වන්දි නොමිලේ ලබා දෙන වන්දි බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවා.
වගා හානි සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (25) පස්වරුවේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.