වරප්‍රසාදිත කණ්ඩායම් විසින් අවභාවිතා කර තිබූ ජනාධිපති අරමුදල  නිවැරදි ප්‍රවේශයට ගැනීමට රජය කටයුතු කළා – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

වරප්‍රසාදිත කණ්ඩායම් විසින් අවභාවිතා කර තිබූ ජනාධිපති අරමුදල නිවැරදි ප්‍රවේශයට ගැනීමට රජය කටයුතු කළා – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පසුගිය පාලන සමයේ ජනාධිපති අරමුදල වරප්‍රසාදිත කණ්ඩායම් විසින් අවභාවිතා කර ඇති බවත්, එය නිවැරදි ප්‍රවේශයකට ගෙන ඒමට වත්මන් රජයට හැකි වූ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කළා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම අදහස් පළ කළේ ජනාධිපති අරමුදලෙන් මධ්‍යම පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීම වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි අද (14) පැවති වැඩසටහනට එක් වෙමින්.

මෙහිදී මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි 2023 සහ 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 361 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් ප්‍රදානය කෙරුණු අතර මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 36.1 කි.

ජනාධිපති අරමුදල ස්ථාපිත කළ සත්‍ය අරමුණ ක්‍රියාත්මක වන්නේ වත්මන් ආණ්ඩුව යටතේ බවත්, ඈත ගමේ සිටින පුරුවැසියා වෙතටම ගොස් පහසුකම් සැපයීමට ජනාධිපති අරමුදල මේ වන විට කටයුතු කරමින් සිටින බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළා.

වෛද්‍යාධාරවලට එහා ගිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල මේ වන විට කටයුතු කර ඇති බවත්, දරුවන්ගේ අධ්‍යාපනයටද ආධාර දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුළින් දැනුමෙන් පිරියහපත් අනාගත මානව සම්පතක් නිර්මාණය කිරිමට දායක වන බවත් කියා සිටියා.

අග්‍රාමාත්‍යවරිය පැවසුවේ එක් රාමුවක් යටතේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනුවට විවිධ ක්ෂේත්‍ර දකින, විවෘත මනසක් ඇති මානව සම්පතක් බිහි කිරීම වෙනුවෙන්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සූදානම් බව සහ එමඟින් දරුවන්ගේ සිහින යථාර්තයක් කිරිමට හැකියාව ලැබෙන බවයි.

 

 

 

Share This