වව්නියාව නොසන්සුන්තාව විමර්ශනයට පොලිස් කණ්ඩායම් කිහිපයක් – කඹුරුපිටි‍යේ මත් පැන් සාදයක් මරණයකින් කෙළවරයි

වව්නියාව නොසන්සුන්තාව විමර්ශනයට පොලිස් කණ්ඩායම් කිහිපයක් – කඹුරුපිටි‍යේ මත් පැන් සාදයක් මරණයකින් කෙළවරයි

වව්නියාව , කුමාන්කුලම ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් පත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අදාළ විමර්ශනවල ප්‍රගතියමත ඉදිරි කටයුතු සිදු කරන බවයි.

යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මියයාමත් සමඟ එම නොසන්සුන්තාව ඇති වූ අතර එහිදී පොලිස් නිලධාරීන් නව දෙනෙකුට ද තුවාල සිදුවුණා.

වව්නියාව කුමන්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් තරුණයෙකු මියගිය අතර එම අනතුර සිදුවන විට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඔහු පසුපස වෙනත් යතුරුපැදියකින් හඹා ගොස් තිබූ බවට ප්‍රදේශවාසීන් චෝදනා කළා.

පොලිස් නිලධාරීන්ට බියේ පළාගොස් සිටියදී අනතුර සිදුවූ බවට චෝදනා කරමින් ගම්වාසීන් පොලිසියට විරෝධය පළ කළ අතර එහිදී උණුසුම් තත්ත්වයක්ද හට ගෙන තිබුණා.

සිද්ධිය පාලනයට තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තිබූ අතර ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ ගම්වාසීන්ගේ පැහැරකෑමට ලක්ව පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට තුවාල සිදුවුණා.

ඉන් පස්දෙනෙකු වව්නියාව රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර පසුව වව්නියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිසකගේ මැදිහත්වීමෙන් උණුසුම් තත්ත්වය පාලනය කිරීමටයි කටයුතු කෙරුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් පත් කර ඇති බවත් එහි ප්‍රතිඵල මත ඉදිරි කටයුතු සිදුකරන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදු කිරීමට නියමිත බව අප වාර්තාකරු සඳහන් කළා.

මේ අතර ඊයේ රාත්‍රියේ කඹුරුපිටිය මාහේන ප්‍රදේශයේ පැවති මත්පැන් සාදයක් අතරතුර ගැටුමක් හට ගෙන තිබෙනවා.

එහිදී තියුණු ආයුධවලින් පහරකෑමට ලක්වූ පුද්ගලයින් දෙදෙනෙකු කඹුරුපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබූ 40 හැවිරිදි යහල්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා එහිදී ජීවිතක්ෂයට පත්වී ඇති අතර අනෙක් පුද්ගලයා තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

Share This