
ව්‍යාජ පිස්තෝලයක් රැගෙන අධිකරණයට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට
අවිස්සාවේල්ල අධිකරණ භූමියට ව්‍යාජ පිස්තෝලයක් රැගෙන ඇතුළු වීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට අධිකරණ පිවිසුම අසළ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
අදාළ කාන්තාවගේ අත් බෑගයේ තිබී ව්‍යාජ පිස්තෝලය සොයාගෙන ඇති අතර අදාළ සැකකාරිය පවසා ඇත්තේ තමන් රථ වාහන නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණි බවයි.
කෙසේ වෙතත් නඩුපත් පරීක්ෂා කළ පොලිසියට එවැනි නඩුවක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ වී නොමැති අතර සැකකාරියගේ ජාතික හැඳුනුම්පතට අනුව ඇය තංගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් බව හෙළිව තිබෙනවා.
කෙසේ වෙතත් ඇය පොලිසියට පවසා තිබුණේ තමන් මීගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි.
පසුව අවිස්සාවේල්ල පොලිස් භාරයට ගත් අදාළ සැකකාරිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
අදාළ සැකකාරිය කුමන අරමුණකින් ව්‍යාජ පිස්තෝලය රැගෙන ආවේද යන්න පිළිබඳ අනාවරණ වී නැති අතර අධිකරණයට ප්‍රවිශ්ටවීමේ දී සිදුකෙරෙන පරීක්ෂා කිරීම් පිළිබඳ අත්හදා බැලීම් සඳහා ඇය එය රැගෙන ආවේද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි.
පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂා කිරීම් හමුවේ ව්‍යාජ පිස්තෝලය හසු නොවුණේ නම් සක්‍රීය මට්ටමේ ගිනි අවියක් රැගෙන ඒමේ අරමුණ පෙරදැරිව එය සිදුකළේ ද යන්න පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ අතර දැනට බූස්ස රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන රමේෂ් ප්‍රියජනක නොහොත් මන්න රමේෂ් නැමැත්තාට එරෙහිව විභාගවන නඩුවක් ද ඊයේ දින විභාගයට ගැනීමට නියමිතව තිබූ බවද වාර්තා වනවා.
ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
