වාණිජ බැංකුවල කටයුතු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

වාණිජ බැංකුවල කටයුතු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලියාපදිංචි වාණිජ බැංකුවල කටයුතු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 ජනවාරි 16 දින සිට බලපැවැත්වෙන පරිදි, විවෘත වෙළඳපල මෙහෙයුම් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ස්ථාවර පහසුකම් භාවිතය සඳහා සීමා කිරීම් හඳුන්වා දුන්නා.

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (07) පැවති රැස්වීමේදී මෙය සාකච්ඡා කරඇති සඳහන්.

දේශීය මුදල් වෙළෙඳපොළ නැවත සක්‍රීය කිරීම සහ මූල්‍ය ආයතන අතර තැන්පතු ඒකරාශී කිරීම සඳහා පවතින අධික තරගකාරීත්වය අවම කිරීම තුළින් මෙම ක්‍රියාමාර්ග ධනාත්මක ප්‍රතිඵල ලබා දී ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

එමෙන්ම මූල්‍ය ආයතනවල සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කරමින්, මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව වෙළෙඳපොළ පොලී අනුපාත ව්‍යුහයේ මධ්‍යස්ථභාවයක් ඇති කිරීමටද මෙමගින් හැකිවී තිබෙනවා.

ඒ අනුව වෙළඳපල සහභාගීත්වය සම්බන්ධයෙන් වාණිජ බැංකුවල හැසිරීම් හොඳින් සමාලෝචනය කිරීමෙන් පසුව, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති රැස්වීමේදී පනවා ඇති සීමාවන් ලිහිල් කිරීමටයි තීරණය කර ඇත්තේ.

විවෘත වෙළඳපල මෙහෙයුම් යටතේ ඇති බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා ස්ථාවර පහසුකම් පිළිබඳව 2024 පෙබරවාරි 16 වන දින ආරම්භ වන සංචිත නඩත්තු කාලයෙන් ක්‍රියාත්මක වන පරිදි, ස්ථාවර ණය පහසුකම්වල සීමාව ඉවත් කරනු ලබන අතර, ස්ථාවර තැන්පතු පහසුකම පස් වතාවක් සිට දස වතාවක් දක්වා ලිහිල් කිරීමටයි තීරණය කර ඇත්තේ.

Share This