වාතයේ පවතින කාබන්ඩයොක්සයිඩ් ගෙන මුහුදේ ගබඩා කිරීමේ නව ක්‍රමයක්

වාතයේ පවතින කාබන්ඩයොක්සයිඩ් ගෙන මුහුදේ ගබඩා කිරීමේ නව ක්‍රමයක්

වාතයේ පවතින කාබන්ඩයොක්සයිඩ් ගෙන මුහුදේ ගබඩා කිරීමේ නව ක්‍රමයක් විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම නව ප්‍රවේශය වත්මන් ක්‍රමවලට වඩා තුන් ගුණයකින් කාර්යක්ෂමව වායුගෝලයේ සිට කාබන්ඩයොක්සයිඩ් ග්‍රහණය කර ගන්නා බවද සඳහන් වනවා

කාබන්ඩයොක්සයිඩ් සෝඩා බයිකාබනේට් බවට පරිවර්තනය කර මුහුදු ජලයේ ආරක්ෂිතව හා ලාභදායී ලෙස ගබඩා කළ හැකි බවයි එම විද්‍යාඥයින් පෙන්වා දී තිබෙන්නේ

පසුගිය දශක කිහිපය තුළ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය සීමා කිරීමට සහ අඩු කිරීමට ලෝකය අරගල කර ඇති අතර, සමාගම් කිහිපයක් ඒ වෙනුවට වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඩ් ඉවත් කිරීමේ තාක්ෂණය දියුණු කිරීමට අවධානය යොමු කරනු ලැබුවා

ඒ අනුව ස්විට්සර්ලන්තයේ ආයතනයක් පසුගිය වසර දහය තුළ කාබන්ඩයොක්සයිඩ් අණු පෙරීමට සහ වායුගෝලයේ සිට වාතය උරා ගැනීමට යන්ත්‍ර නිපදවා තිබෙනවා

කෙසේ වෙතත්, සෘජුව කාබන්ඩයොක්සයිඩ් රඳවා ගැනීම සඳහා එක් විශාල ගැටළුවක් වන්නේ පිරිවැය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

සමහර රසායනික ද්‍රව්‍ය එකතු කිරීමත් සමග ග්‍රහණය කරගත් කාබන්ඩයොක්සයිඩ් සෝඩා බයිකාබනේට් බවට පරිවර්තනය කර මුහුදු ජලයේ සරලව හා ආරක්ෂිතව ගබඩා කළ හැකි බවයි වෛද්‍ය සෙන්ගුප්තා පවසන්නේ

ඔහුට දැන් අවශ්‍යව ඇත්තේ මෙම තාක්‍ෂණය තවදුරටත් දියුණු කිරීම සඳහා සමාගමක් පිහිටුවීමට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මේ ආකාරයෙන් කාබන්ඩයොක්සයිඩ් වාතයෙන් ඉවත් කිරීම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සීමා කිරීමට තීරණාත්මක සාධකයක් වන බවයි වෛද්‍ය සෙන්ගුප්තා සඳහන් කර තිබෙන්නේ

සමහර විද්‍යාඥයන් සෘජු වාතය ග්‍රහණය කර ගැනීම වැනි නැගී එන තාක්‍ෂණික ක්‍රම කෙරෙහි ඕනෑවට වඩා අවධානය යොමු කිරීමට මැලිකමක් දක්වන්නේ එමගින් රජයන් සහ ඔවුන්ගේ ප්‍රයත්න දියාරු කරනු ඇතැයි බිය වන නිසාවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කාබන්ඩයොක්සයිඩ් ඉවත් කිරීමේ ක්‍ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන මහාචාර්ය ක්ලවුස් ලැක්නර් පවසා තිබෙන්නේ අපි අනිවාර්යයෙන්ම පරිසරයෙන් කාබන් ආපසු ලබා ගත යුතු බවයි

මෙම පර්යේෂණය Science Advances සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

Share This